ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය පාලනයට කියා ලබා දුන් RANITIDINE එන්නත විෂ වී තරුණයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම එන්නත ලබා දුන් වැල්ලම්පිටිය වෙන්නවත්තේ වන් ෂොට් නාමයෙන් හඳුන්වන වෛද්‍යවරයකුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරිය මහත්මිය ඊයේ (20) නියෝග කළාය.
මෙලෙස විදේශ ගමන් තහනම් කරනු ලැබුවේ කොළඹ 09, දෙමටගොඩ පාර වෙන්නවත්තේ පදිංචි මොහොමඩ් මහරුෆ් කරීම් මොහොමඩ් උවයිස් නමැති වෛද්‍යවරයා වෙතය.
ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය පාලනය සඳහා ලබා දුන් එන්නත විෂ වී රාජගිරිය පදිංචි ලෝචන ධනනංජය පින්නදුව (25) යන තරුණයා මිය ගොස් ඇත.
මියගිය දරුවාගේ මව විසින් වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් සිය දුවගේ නිවසට ඉකුත් 27 වන දින ගිය බවත් එහිදී සිය පුතුට බඩේ දැවිල්ලක් හා පපුවේ දැවිල්ලක් ඇති වූ බැවින් වෙන්නවත්තේ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වන් ෂොට් නාමයෙන් හඳුන්වන වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය බවය.
දරුවාගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින් කුමන හෝ ප්‍රතිකාරයක් කරන ලෙසට තමන් වෛද්‍යවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු විසින් RANITIDINE නමැති ඖෂධය එන්නත් කළ බවත් දරුවා විනාඩි පහක් පමණ ගැහෙමින් සිට ශරිරය දරදඩුව ගිය බවට පැමිණිල්ලේ සඳහන්ය.
පසුව අයි ඩී එච් රෝහල වෙත දරුවා ගෙන ගිය අවස්ථාවේ දී දරුවා මිය ගිය බවට දැනගත්තේයැයි සඳහන් කරන පැමිණිලිකාරිය මෙම එන්නත ලබා දීමෙන් අනතුරුව දරුවා මිය ගිය බවට සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව වෙත පැමිණිල්ලක් කිරීමට පැමිණිලිකාරිය වෙත දැන්වූ පොලිසිය වෛද්‍යවරයා සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඔහු පදිංචිය පවා අතහැර පලා ගොස් ඇති බවට අධිකරණය හමුවේ සඳහන් කළේය.
දිනමිණ






