Press "Enter" to skip to content

පොලීසිය බනිස් ගෙඩි දෙකකට යටවෙයි.. සාරිය දැක්ක ගමන් පොලිස් නිලධාරීන් රත්වෙලා…

රථවාහන වරදකට අල්ලාගත් තීරෝද රථ රියදුරකුට දඩ කොළයක් ලියා නොදීමට අල්ලස් වශයෙන් බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන්ටි දෙකක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දරු අවස්ථාවේදී ත්‍රීරෝද රියේ නීතිඥවරියක සිටීමෙන් කලබලයට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඒ ආහාර පවා ගැනීම ප්‍රතික්ෂේප කර ත්‍රිරෝද රියද වහාම මුදා හැර ඒ ස්ථානයෙන් පිටව යෑමේ සිද්ධියක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරියක් කුලී ත්‍රිරෝද රියකින් එම දෙපාර්තමේන්තුවට ගමන් කරමින් සිටියාය.

පොලිස් නිලධාරීන් දෙදෙනකු මරදාන ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රිය නැවැත්තුවේ රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ කොලයක් ලියා දීමටය.

රියදුරා පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූයේය.

” හරි එහෙනම් තමුසෙට අපි විසඳුමක් දෙන්නම්. ඔය ළඟ තියෙන කඩේට ගිහිල්ලා බනිස් ගෙඩි දෙකකුයි ප්ලේන්ටි දෙකකුයි අරගෙන එනවා. ඒවා ගෙනත් දුන්නට පස්සේ තමුසෙට යන්න පුළුවන්” පොලිස් නිලධාරියෙක් ත්‍රීරෝද රථ රියදුරාට කීවේය.

ඒ අනුව රියදුරා ළඟ තිබු කඩේකට පයින්ම දිව ගියේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නියෝගය පිළිපැදීමටය.

රියදුරුගේ ප්‍රමාදය නිසා ත්‍රී රෝද රථයේ සිටි නීතිඥවරිය බිමට බැස්සාය. ත්‍රිරෝද රියෙන් නීතිඥවරියක බිමට බැස සිටින බව ඇඳ සිටි සාරියෙන් හඳුනාගත් පොලිස් නිලධාරියෙක් වහාම ඇය සිටින ස්ථානයට ගොස් ඇය කවුදැයි විමසා සිටියේය.

ඇය තමා කවුදැයි මෙහිදී පොලිස් නිලධාරියාට හඳුන්වාදුන් අතර ඒ ප්‍රකාශයෙන් පොලිස් නිලධාරීන්ගේ ඉහ මොළ රත්වී ගියේය.

මෙහිදී කටහඬ අවදි කළ පොලිස් නිලධාරියෙක් ” දැං ඔබතුමිය යන්නේ කොහොමද? අන්න අර මිනිහා අර පැත්තට දුවනවා දැක්කා” යනුවෙන් පැවසුවේ තරමක් කලබලයෙනි. ඒ ප්‍රකාශය කර ලොකු වේලාවක් ගත වූයේ නැත.

තීරෝද රථ රියදුරා බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන්ටි දෙකක් රැගෙන ඒ ස්ථානයට පැමිණෙමින් සිටියේය. එහිදී කලබලයට පත් පොලිස් නිලධාරියා” “ඕවා මොනවාටද අයිසෙ අපිට. මේ නෝනා අරගෙන යනවා” යනුවෙන් පැවසුවේ ඇති වූ ලැජ්ජාව යටපත් කරගනිමිනි.

” ඇයි සර්… මම මේවා ගෙනාවෙ සර්ලා කිව්ව නිසානේ” ත්‍රී රෝද රථ රියදුරාගේ උත්තරයෙන් පොලිස් නිලධාරීහු තවත් ලැජ්ජාවට පත්වූහ. මේ අවස්ථාවේදී රියැදුරා ” ” හරි හරි කමක් නෑ මේවා ගන්නකෝ..”යනුවෙන් පවසා බනිස් ගෙඩි දෙක සහ ප්ලේන් ටී දෙක පොලිස් නිලධාරින් පැමිණ මෝටර් රිය ඇතුළට දමා ත්‍රීරෝද රිය පණ ගන්වාගෙන පිටව ගියේ වේගයෙනි. එසේ යන අවස්ථාවේදී සිදු වූ සියල්ල නීතිඥවරියට සැලකර සිටීමටද ත්‍රීරෝද රථ රියදුරා අමතක නොකළේය.

ලංකාදීප

More from GossipMore posts in Gossip »