හදිසි කෝපය මත අපරාධයක් සිදු කරන පුද්ගලයකු කෝපය පහව යෑමත් සමඟ තමන් කළ අපරාධය ගැන සිතමින් පසුතැවිලි වන වාර ගණන අපමණය. ඉන් අනතුරුව කළ අපරාධය වසන් කිරීමට ඔහු ගන්නා උත්සාහයද සුළුපටු නැත. ඉකුත්දා මෙවන් අපරාධයක් පැල්මඬුල්ල පොලිස් වසමේ වාර්තා ඊල්හේන ගමින් විය. පුද්ගලයකු පහරදී මරා ඔහුගේ සිරුර ෙදාළක් අසල වළක දමා එය සදාකාලිකවම සඟවන්නට අපරාධකරු මහත් වෙහෙසක් ගෙන තිබුණේය. අවසානයේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් තම සහෝදරයා නිවෙසින් අතුරුදන්ව ඇති බව කියමින් පැල්මඬුල්ල පොලිසියට කළ පැමිණිල්ලක් පසුපස ගිය පොලිස් නිලධාරීන් සිද්ධිය වූ තැන තිබූ ලේ පැල්ලමක් ඔස්සේ සිදුකළ විමර්ශනයකින් මරා වළදැමූ පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට නිලධාරීන් සමත් වූ අතර සිද්ධියට සම්බන්ධ අඹු-සැමි යුවළක්ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිවිය.
රිල්හේන ගමේ බොහෝමයක් දෙනා ජීවත් වනුයේ කුලීවැඩ කරමිනි. පතල් වැඩ කිරීමෙන්ද අතමිට සරුකර ගන්නා පිරිස් බොහෝය. ඇඟපතේ විඩාව නිවා ගන්නට හවසට හීන් අඩියකින් සප්පායම්වීම රිල්හේන ගමේ බොහෝ දෙනාගේ පුරුද්දකි.
සම්පත්ද රිල්හේන ගමේ සමෝදය මාවතේ පදිංචිකරුවෙකි. කලක් ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වැනි ගැමුණු හේවා බළකායේ සෙබළකු ලෙසද රාජකාරි කළේය. ඔහු අනූෂා සමඟ පෙමින් බැඳුණෙත් එවන් සමයකදීය. පසුව හමුදාවට හොරෙන් සම්පත්, අනූෂා සමඟ විවාහ විය. ඔහු අනූෂාට කෙතරම් ආදරය කළේද කිවහොත් අවසානයේ රස්සාව පවා අතහැර දමා ඔහු අනූෂා සමඟ එකට පවුල් කෑවේය. පසුව යුද හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත් වූ සම්පත් රිල්හේන ගමේ කුලී වැඩ කරමින් ඇය නඩත්තු කළේය. කාලයාගේ ඇවෑමෙන් සම්පත්ට දාව අනූෂා දරු දෙදෙනකු බිහි කළාය. බිරිය හා දරුවන් නඩත්තු කිරීමට කුලී රස්සාවෙන් උපයා ගන්නා සොච්චම් මුදල ප්‍රමාණවත් වූයේ නැත. අවසානයේ කසිප්පු පෙරීමට ඇබ්බැහි වූ සම්පත් එමඟින් කුලී රස්සාවට වඩා වැඩි මුදලක් උපයා ගත්තේය.
ඉකුත් 10 වැනිදා සවස රිල්හේන ගමේම පදිංචි තුෂාර නමැත්තා සම්පත්ගේ නිවෙසට පැමිණියේය. ඒ ඇඟපත රත්කර ගැනීමේ අදහසිනි. ඔවුහු ඥාතීහු වූහ. තුෂාරගේ පැමිණීමත් සමඟ නිවෙසේ තිබූ කසිප්පු භාගයක් අතට ගත් සම්පත් මිදුලේ තිබූ තහඩුවක් මත සිට එය හිස් කළේ තුෂාරවද ඊට එක්කර ගනිමිනි.
මොහොතකට පසු තුෂාර පදමට රත්වීමත් සමඟ ඇදගත් කොක්කක් නිසා සම්පත්ගේද මල පැන්නේය. “උඹ කියන ප්‍රශ්න මම දැම්මේ නැහැ. දැන් අපි බීලා ඕවා කතා කරලා වැඩකුත් නැහැ. දැන් ගෙදර පලයන්. පස්සේ දවසක ඔය ප්‍රශ්න ගැන නොබී කතා කරමු.”
සම්පත්ගේ කීම ගණනකට නොගත් තුෂාර ඒ සමඟම වාඩිවී සිටි තැනින් නැඟිට සම්පත්ගේ කමිසයෙන් අල්ලා කම්මුලට පහරක් ගැසුවේ තිබූ වෙරි ගතිය නිසාය. එම කම්මුල් පහරත් සමඟ සම්පත්ගේ යකා ඇවිස්සිණි.
“මට ඒ වෙලාවේ අතට අහුවුණේ කිතුල් පොල්ල. මම දෑත බදලා පොල්ලෙන් තුන් පාරක් උගේ ඔළුවට ගැහුවා. තුෂාරයා කටින් සෙම දාගෙන එතැනම වැටුණා. මිනිහා කෙඳිරි ගාන්න පටන් ගත්තා. මම දැනගත්තා මූ මැරිලා නැහැ කියලා. ඒ පාර මම තවත් කිතුල් පොලු පාරවල් තුනක් තුෂාරයාගේ ඔළුවට එල්ල කළා. ඒ පාරවල්වලට උෟ මැරුණා.
මේ ශබ්දය නිවෙසේ සිටි සම්පත්ගේ බිරිය අනූෂාටද ඇසුණාය. ඇය වහා කලබලයට පත්ව ෙදාර විවර කරගෙන සම්පත් සිටි තැනට දිව ආවාය. තුෂාර කිසි හැල හොල්මනක් නැතිව බිම වැටී සිටියේය.
“ඇයි මේ මොකද වුණේ…”
“පොඩි ප්‍රශ්නයක් වුණා. උඹ පලයන් ඇතුළට නැත්නම් උඹත් මේවාට අහුවෙයි.”
“දෙවියනේ ඔයා මොකක්ද මේ කළේ”
“මම උඹට එක පාරක් කිව්වා. පලයන් ඇතුළට ගිහින් ෙදාර වහගනින්”
සම්පත්ගේ කෑගැසීමෙන් බියට පත් අනූෂා නිවෙසට ඇතුළු වී ෙදාර පියන් වසා ගත්තාය. ඒත් ඇගේ සිතත් ගතත් බියෙන් ගැහෙන්නට විය. සම්පත්ට තමා කළ අපරාධය ගැන බියක් දැනිණි. පැය දෙකක් පමණ මිදුලට වී කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරමින් පසුතැවිලි වූ ඔහු ඉන් අනතුරුව ෙදාර විවර කරගෙන නිවෙසට ඇතුළු විය. ඒ මොහොතේ අනූෂා සිටියේ අවදියෙන්ය. ඇය ගෙයි මුල්ලකට වී හඬා වැලපෙන්නට වූවාය.
“මම ගහපු පාරට තුෂාරයා මැරිලා” සම්පත් එසේ කීමත් සමඟ අනූෂා තවත් හයියෙන් වැලපෙන්නට වූවාය.
“කට වහගනින් යකෝ… උඹේ ඇ¾ඩිල්ල ඇහිලා අහල පහළ එවුන් ගෙදරට දුවගෙන ඒවි. කට වහගනින්…”
සම්පත්ගේ ගෝරනාඩුවත් සමඟ අනූෂා දෙඅත් මුවට තබා තදකර ගත්තාය.
“ගෙනෙන් කවරයක්… මූව ඉවරයක් කරලම දාන්න…”
අනූෂා නිවෙසේ තිබූ කළු පැහැති කවර දෙකක් ගෙනැවිත් සම්පත් අත තැබුවාය. කවර දෙක රැගෙන මිදුලට ගිය සම්පත් එම කවර දෙකම බිම වැටී මියගොස් සිටි තුෂාරගේ හිසට එබුවේය.
“මම කවර දෙකම තුෂාරගේ ඔළුව පැත්තෙන් බස්සලා බෙල්ලට තදවෙන්න නයිලෝන් නූලක් අරන් ගැට ගැහැව්වා. තුෂාරයට ගහපු කිතුල් පොල්ලේ නයිලෝන් නූලේ අනිත් පැත්ත ගැටගහලා තුෂාරව බිම දිගේ ඇදගෙන ගියා…”
“අපේ ගෙවල් ළඟ තියෙන රබර් කෑල්ල දිගේ මම තුෂාරව බිම දිගේ ඇදගෙන මීටර් 700ක් විතර ගියා. ඊට ටිකක් දුරින් තියෙන්නේ
ෙදාළ. ෙදාළෙනුත් එගොඩ කරගෙන අජිත්ගේ මිදුලෙන් පහළට තියෙන පාරේ සිරුර කැලයට ඇදගෙන ගිහින් තුෂාරගේ මිනිය කටු කැලේ ඇතුළට දැම්මා.”
ඒ වනවිට වේලාව අලුයම හතරට පමණ ඇත. මුළු තල්හේන ගමම ඒ වනවිට සිටියේ තද නින්දකය. “එළිවෙන්න කලින් වැඩේ අහවර කරන්න ඕන”
එසේ සිතූ සම්පත් තුෂාරගේ මළ සිරුර කටු කැලයට ඇද දමා යළි නිවෙසට ගියේය.
“මොකද වුණේ කෝ තුෂාර”
අනුෂා බියෙන් වෙව්ලමින් සැමියාගෙන් විමසුවාය.
“කට වහගෙන ඉඳපන් යකෝ. උඹ මේ වැඩවලට ගෑවෙන්න ඕනෑ නැහැ. ගනින් ඔය උදැල්ල මෙහාට”
උදැල්ල සමඟ කපා දැමූ ප්ලාස්ටික් කෑන් එකක්ද අතට ගත් සම්පත් යළි ගන අඳුර මැදින් තුෂාරගේ මළ සිරුර අතහැර දැමූ කටු කැලෑවට ගියේය.
“මම හෙමින් සැරේ එතැන වළක් කැපුවා. තුෂාරගේ මිනිය වළට දාලා වහන්න. ඒත් මට එළිවෙන කොට වළ කපාගන්න බැරි වුණා. හතර වටින් එළිය වැටෙන්නට ගත්තා. මට බය හිතුණා කවුරු හරි කැලේ පැත්තට ඒවි කියලා. මම බාගෙට වළ කපලා උදැල්ලත් අරගෙන ආයේ ගෙදරට ආවා. පස්සේ උදැල්ල හෝදලා ගෙදර පිළිකන්නේ තියලා ඇඳගෙන හිටිය ඇඳුමයි තුෂාරට ගහපු කිතුල් පොල්ලයි ඉතිරි නයිලෝන් නූල් ටිකයි ළිපට දාලා පිච්චුවා.”
“පස්සේ මිදුලේ තිබුණු ලේ පැල්ලම් සේරම වතුර දදා හෝදලා දැම්මා. ඒ වෙනකොට හොඳටම එළිවෙලා. ලේ එක පැල්ලමක්වත් නැති වෙන්න සේරම හෝදලා දැම්මා. පස්සේ වතුර එකක් උණු කරලා මම නෑවා. නාලා පොඩ්ඩක් නිදාගෙන ඉන්නකොට තමයි තුෂාරගේ තාත්තා අපේ ගෙදර ඇවිත් තුෂාර ඉන්නවද කියලා ඇහැව්වේ.
“මගෙත් එක්ක බීල දහයට විතර එයා ගෙදර යනවා කියලා යන්න ගියානේ.”
“කෝ ඉතින් කොල්ල ගෙදර ආවේ නැහැනේ.”
එලෙස කී තුෂාරගේ පියා සම්පත්ගේ නිවෙසින් පිටව ගිය අතර තුෂාර ගැන කිසිදු තොරතුරක් නොවූ තැන ඔහු පැල්මඬුල්ල පොලිසියට ගොස් පුතාගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට පියවර ගත්තේය.
“පුතා කොහේ යනවා කියලද ගියේ.”
“අර සම්පතයාගේ ගෙදර තමයි ගියේ. එයාගේ නංගිත් දන්නවා. නංගිටත් කියලා තමයි සම්පත්ගේ ගෙදරට ගිහින් තියෙන්නේ. ඒකා මොකක් හරි දෙයක් දැනගෙන අපිට හංගනවා සර්….”
තුෂාරගේ පියාගේ එම ප්‍රකාශයත් සමඟ පැල්මඬුල්ල පොලිස් ස්ථානාධිපති ධම්මික නවරත්න ඇතුළු කණ්ඩායමක් වහා සම්පත්ගේ නිවෙස වෙත ගියහ. සම්පත් මෙන්ම අනුෂාද නිවෙසේ වූහ.
“කෝ තුෂාර”
“දන්නේ නැහැ සර්.”
“ඇයි ඊයේ උඹත් එක්කනේ එකට කසිප්පු ගහලා තියෙන්නේ”
ඒ අතරතුර ස්ථානාධිපතිවරයාගේ උකුසු ඇස් පෙරදා දෙදෙනා කසිප්පු පානය කළ ස්ථානය වෙත යොමු විය.
“මුන් මිදුල හෝදලා තියෙනවා වගේ.”
ඒ බවක් නොපෙන්වූ ස්ථානාධිපතිවරයා ඒ අවට තවදුරටත් සෝදිසි කරද්දී එතැන තිබූ තහඩුවක පුංචි ලේ බිඳුවක් පෙනෙන්නට තිබිණි.
“මේ ලේ නේද”
ස්ථානාධිපතිවරයා සම්පත්ගෙන් විමසීය.
“ආ ඔව් සර්, පෙරේදා උෟරෙක් කැපුවා. උගේ ලේ වෙන්න ඇති.
ඒ සමඟම සම්පත්ගේ බිරිය තැති ගත්තාය.
“මේකි මොකක් හරි දන්නවා වගේ.”
එසේ සිතූ ස්ථානාධිපතිවරයා නිලධාරීන් දෙසට හැරී සම්පත්ව පොලිසිය වෙත රැගෙන යන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉන්පසුව ඔහු හැරුණේ සම්පත්ගේ බිරිය දෙසටය. ඇය ඒ වනවිටත් බියෙන් වෙව්ලමින් සිටියාය. ඇයට වහා පොලිසියට පැමිණෙන ලෙස ස්ථානාධිපතිවරයා කීවේය.
“උඹලා දෙන්නා එකතු වෙලා තුෂාරයා මැරුවා නේද?”
“ලෑස්ති වෙයන් හිරේ යන්න.”
ස්ථානාධිපතිවරයා රඟපෑමක යෙදෙමින් සම්පත්ගේ බිරියට කීවේය. ඉන් ඇය තවත් බියට පත්වූවාය.
“අනේ සර් මම නෙමේ” ඇය මිමිනුවාය.
“එහෙනම් කවුද. ඇත්ත කියපන් නැත්නම් උඹවත්…..”
බියට පත්වූ අනුෂා සිදුවූ සියල්ල නිලධාරීන් ඉදිරියේ හෙළි කළාය.
මහත්තයයි තුෂාරයි මිදුලේ ඉඳගෙන අරක්කු බිව්වා. රෑ 11ට විතර මට එකපාරට සද්දයක් ඇහුණා. මම ෙදාර ඇගෙන එනකොට මහත්තයා කිව්වා මට එළියට එන්න එපා යන්න කියලා. පස්සේ මහත්තයා ඇවිත් කිව්වා තුෂාර මැරුවා කියලා. එයා මගෙන් නිල්පාට නයිලෝන් නූල් කෑල්ලක් කපලා ඉල්ලුවා. මම ඒක කපලා දුන්නා. පස්සේ මට ෙදාර වහගන්න කියලා උදැල්ලයි, ප්ලාස්ටික් කෑන් එකයි, නයිලෝන් නූලයි අරගෙන යන්න ගියා. උදේ පාන්දර තමයි එයා ආයේ ගෙදර ආවේ.
පස්සේ එයා ඇඳගෙන හිටිය ඇඳුම් සේරම ළිපට දාලා පිච්චුවා. කිතුල් පොල්ලත් ළිපට දාලා පුච්චලා දැම්මා. පස්සේ අපි දෙන්නම එකතු වෙලා මිදුලේ තිබුණු ලේ ටික සෝදලා දැම්මා. අපි දැක්කේ නැහැ සර් තහඩුවේ තියෙන ලේ බින්දුව. පස්සේ මම වතුර උණු කරලා මහත්තයට නාන්න දුන්නා. ඒ වෙලාවේ තමයි තුෂාරගේ තාත්තා තුෂාරව සොයමින් අපේ ගෙදර ආවේ.”
“තමන් දන්නවද තුෂාරගේ මිනිය කොහේද හැංගුවේ කියලා.” “මම දන්නේ නැහැ සර්. මම තුෂාරව මරනවා දැක්කෙත් නැහැ. මහත්තයා තමයි මට ඒ ගැන කිව්වේ”
“එහෙනම් තමන් මොකද මිදුලේ තියෙන ලේ හේදුවේ.”
ස්ථානාධිපතිවරයාගේ පැනයට ඇය නිරුත්තර වූවාය. පසුව සම්පත්වද කැඳවූ ස්ථානාධිපතිවරයා ඔහු අමතා මෙසේ විමසීය.
“කෝ දැන් උගේ මිනිය”
“ෙදාළ ළඟ කැලේ තියෙනවා. මම පෙන්නන්නම් සර්”
පසුව සම්පත්ගේ මඟපෙන්වීම අනුව කටු කැලේට ගිය නිලධාරීන්ට මරා වළදැමීමට උත්සාහ කර තිබූ තුෂාරගේ මළසිරුර සොයාගත හැකිවිය.
“ඕක තමයි කියන්නේ අපරාධයක් කරලා බේරෙන්න බැහැ කියලා. උඹලා මුළු මිදුලම සේදුවත් එක ලේ පැල්ලමෙන් සේරම මාට්ටු වුණා දැක්කද.” ස්ථානාධිපතිවරයා සැකකාර අඹුසැමි යුවළ දෙස හැරී එසේ පවසන්නට විය.
සිද්ධිය පිළිබඳ විමර්ශන සහකාර පොලිස් අධිකාරි සුමනපාල මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරිණි.
තුෂාරගේ ඝාතනය සම්බන්ධයෙන් සම්පත් නමැත්තාද ඔහුට ආධාර අනුබල දීමේ වරදට අනුෂාවද අත්අඩංගුවට ගත් නිලධාරීන් ඔවුන් පැල්මඬුල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව මහෙස්ත්‍රාත්වරයා සැකකාර අඹුසැමි යුවළ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.රත්නපුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි වසන්ත සෙනරත් සුමනපාල මහතාගේ උපදෙස් මත පැල්මඬුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ජයවර්ධන, සැරයන් මාධව (36126), පෙරේරා (63593), අනුර ජයතිලක (36126), කොස්තාපල්වරුන් වූ මුණසිංහ (71136) සහ රත්නායක (89552) යන නිලධාරීහු මෙම විමර්ශනයට සහභාගි වූහ.
මව්බිම






