කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ ජාකර්තා හී තට්ටු නිවාස සංකීර්ණයකදී අබිරහස් ලෙස ඝාතනය වීම සම්බන්ධයෙන් දේශීය වශයෙන් කෙෙරන විමර්ශනයට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
මෙම විමර්ශනයේදී අනාවරණය වන කරුණු මත අවශ්‍යතාවක් පැන නැඟුණහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට යනු ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ඝාතනය පසුගිය 02 දා සිදුවී ඇත. මෙම ඝාතනයෙන් පසු ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිය සහ ඇගේ සහායිකාව බව කියන බ්‍රසීල ජාතික කාන්තාව සිවු හැවිරිදි දියණිය ද රැගෙන කටාර් බලා පලාගොස් ඇති බව ජාකර්තා පොලිස් විමර්ශන තොරතුරු අනාවරණය කරයි. පසුගිය ජනවාරි 20 වෙනිදා නිවාඩුවක් ගත කිරීමට ඔනේෂ් සිය බිරිය, දියණිය සහ බිරියගේ සහායිකාව සමඟ ඉන්දුනීසියාවට ගොස් ඇති බව කියයි.
මෙම ඝාතනය සැලසුම් සහගතව සිදුකර ඇති බවත් මෙම ඝාතනය බොහෝ විට සිදුකර ඇත්තේ ඔනේෂ් මහතාගේ බිරියගේ සහායිකාව විසින් යැයි ඉන්දුනීසියාවෙන් ලැබෙන තොරතුරුවලට අනුව පෙනී යන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම අපරාධය ඉන්දුනීසියාවේ සිදුවූවත් මෙම ඝාතනය සැලසුමේ පෙර සූදානම ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බව පෙනී යන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මතය.
දිනමිණ






