Press "Enter" to skip to content

ශ්‍රී පාද මළුව පෙනී පෙනී මෙලොව එළිය දුටු බිළිඳිය.. මව සහ බිළිඳිය සුවෙන්.. පොලිසියේ මෙහෙවරට ජනතා ප්‍රසාදය

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඇයගේ දෙවැනි බිළිඳිය ශ්‍රී පාද හැටන් මාර්ගයේ ඉඳිකටුපාන ප්‍රදේශයේදී 11 දින රාත්‍රියේ බිහිකර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී.එස්. වීරසේකර මහතා පැවසීය.

ගත වූ දෙදින තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත් එම පිරිස අතර රත්නපුර මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් ශ්‍රී පාද උඩ මළුව දක්වා කරුණා කිරීමට ඉඳිකටු පාන ප්‍රදේශයේ දිගු වේලාවක් නතර වී සිටියදී 11 දින රාත්‍රි 7.30 ට පමණ ශ්‍රී පාද මාර්ගයේදීම දෙවැනි දරු ප්‍රසුතිය සිදු කර ඇති බවත් එම අවස්ථාවේ ඇයගේ දරු ප්‍රසුතියට ඇය සමග ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කාන්තාවන් පිරිසක් සහ වෙනත් ප්‍රදේශවලින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටි තවත් කාන්තාවන් පිරිසක් සහයෝගය දක්වා ඇත.

දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉඳිකටුපාන පොලිස් මුරපොලේ නිලධාරින් විසින් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඉඳිකටුපාන පොලිස් මුරපොලේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ ශ්‍රී පාද උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ ඉඳිකටු පාන පොලිස් මුරපොලේ නිලධාරින්ගේ සහය මත දරු ප්‍රසුතිය සිදු කළ කාන්තාව සහ ස`ිගිත්තිය ආධාරක ඇඳන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙසයි.

එම අතරතුර සුවසැරිය ගිලන් රථය නල්ලතන්නිය වෙත කැඳවා තිබු පොලිස් ස්ථානාධිපතිවරයා මව සහ දරුවා ගිලන් රථයට නංවා දික්ඔය මූලික රෝහලට යොමුකර ඇත.

දරු ප්‍රසුතිය සිදු කළ මව සහ අලු‍ත උපන් සිඟිත්තිය නිරෝගිව දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

ශ්‍රී පාද මාර්ගයේදී දරු ප්‍රසුතිය සිදු කළ තම ඥාති දියණිය රෝහල් ගත කිරීමට අවශ්‍ය පියවර ගත් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට, ඉඳිකටුපාන පොලිස් මුරපොලේ නිලධාරීන්ට සහ බරකරුවන්ට පවුලේ ඥාතීන් සිය කෘතඥතාව පළ කළහ.

දිවයින

More from GossipMore posts in Gossip »