බසයක තිරිංග ක්රියාවිරහිත වී ප්රපාතයට ඇදී යද්දී රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් මගීන් 60කගේ පමණ ජීවිත බේරාගැනීමට හැකි වූ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස්රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්රියාවිරහිත වී ඇති අතර බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගැනීමට සමත් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එහි රියදුරු පවසා සිටියේ මෙවැන්නක්
“හපුතලේ පල්ලම බහිද්දිත් බ්රේක් තිබ්බා. විහාරගල හරියේ ලොකු වංගුවක් තියෙනවා. වංගුවේ දී බ්රේක් එකට කකුල තිබ්බට බ්රේක් නෑ. පැඩල් එක අඩියටම බැස්සා. මට දැන් කල්පනාවට ආව මොනවද කරන්නේ කියලා.
මිනිස් ජීවිත බේරගන්න ඕනේ කියලා මම ගැනවත් හිතන්නේ නැතුව ඉස්සරහින් ආව වාහන සේරම බේරගෙන මම බස්එක වේල්ලට ඇල්ලුවා. කොහොම හරි ටයර් දෙක කාණුවට වැටිලා තමයි බස්එක නතර වුණේ.
කාටවත් කිසිම හානියක් වෙලා තිබුණේ නෑ. සීරිමක්වත් වුණේ නෑ. මගේ කකුල වැදුනා සුක්කානමේ.
ඒක පොඩ්ඩක් තැලිලා තියෙනවා එච්චරයි. බස් එකටවත් ඩැමේජ් එකක් නෑ. ඇත්තටම මට මේ අවුරුදු 12ක CTB ජීවිතේ ලබපු හොඳම අත්දැකීම. මට ඇත්තටම සතුටුයි මේ මිනිස්සුන්ගේ ජීවිත බේරිච්ච එකට.
මම ඒ තරම් පින් කරලා තියෙනවා. පොඩි අයත් හිටියා. අතදරුවොත් හිටියා. කිසිම කෙනෙකුට කිසිම හානියක් වුණේ නෑ. බස් එක එතැනින් පහළට ගියා නම් අඩි 5,000ක විතර ප්රපාතයකට යනවා.”






