Press "Enter" to skip to content

“ඔයා ඇයි මං අකැමති අයව ආශ්‍රය කරන්නේ ” පිහි ඇනුමට හේතුව ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකක් ?

කොළඹ විශ්වවිද්‍යාලය මෙරට බොහෝ විද්වතුන් උගතුන් බිහි කළ අංක එකේ සරසවියක් හැටියට වාර්තාපිට වාර්තා තැබූවත් එම සරසවියේ විද්‍යාර්ථීන් දෙදෙනකු ගැන ඊයේ (17 වැනිදා) අසන්නට ලැබුණේ අමුතුම කතාවක්ය. ඒ සිදුවීම වාර්තා වූයේ කොළඹ තුරඟ පිටියෙනි. අප ඊයේ සවස එතැනට යනවිටත් බොහෝ දෙනකු වට පිටාවේ රැඳී සිටියේ අශ්ව රේස්, ෆුට් බෝල් හෝ රගර් තරග නැරඹීමට නොව ඝාතනයට ලක්ව සිටි අහිංසක තරුණියකගේ නිසල සිරුර දෙස බලාගෙනය. එසේ ඝාතනයට ලක්ව සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකි. ඝාතනය සිදුකර තිබුණේද එම සරසවියේම සිසුවකුය.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ චතුරි හංසිකා මල්ලවාරච්චි නම් සිසුවියකි. ඇය හෝමාගම, කිරිවත්තුඩුවේ පදිංචි 24 හැවිරිදි තරුණියකි. චතුරි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වැනි වසරේ සිසුවියකි. ඇය සරසවියේ අධ්‍යන කටයුතු සඳහා පැමිණෙන්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිට නොව කිරිවත්තුඩුවේ පිහිටි සිය නිවසේ සිටය. සරසවියේ සිසු සිසුවියන්ගේ හිත මිතුරු සොහොයුරියක් වූ ඇය පවුලේ වැඩිමහල් දැරියද වූවාය. ඇයගේ මවත් පියාත් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරී යුවළකි. චතුරිගේ පියා රංජිත් ප්‍රේමකුමාර දැන් කිරිවත්තුඩුව, අඹගස් හන්දියේ ඔසුසලක් පවත්වාගෙන යයි. මව ගෘහණියක් ලෙස දරු දෙදෙනාගේ සහ නිවසේ වගකීම් භාරගෙන සිටින්නීය.

චතුරි කොළඹ සරසවියට පැමිණීමෙන් පසු එම සරසවියේම ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන වැල්ලම්පිටිය, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි පසිදු මධුසංක නමැති තරුණයකු සමගින් මිතුදමක් ඇති කරගත්තාය. පසුව ආදර සම්බන්ධයක් දක්වා මේ මිතුදම දියුණු වන්නට වැඩි කාලයක් ගතවූයේ නැත. මෙසේ පෙම්වතුන් වූ මේ දෙපළ අතරේ නිරන්තරයෙන්ම ඇතිව තිබෙන්නේ රණ්ඩු සරුවල්ය. පසිදු මානසික ආතතියකින් පෙළීම මේ ප්‍රශ්න සියල්ලටම හේතුව බව මේ දක්වා කර ඇති විමර්ශනවලදී හඳුනාගෙන ඇත. මේ බව සරසවි මිතුරන්ටද රහසක් වී නොතිබිණි.

එලෙස අඬදබර මැද පවත්වා ගෙන ගිය ආදර සම්බන්ධය මාරාන්තික වන තැනටම පත්ව ඇත්තේ චතුරි ඇගේ මුහුණු පොතේ හා වට්ස්ඇප්වල පළකළ බව කියන පෝස්ට්ටුවක්ය. ඇය පසිදු අකැමැති මිතුරන් ඇසුරු කිරීමද ඔවුන් හා කතා බහ කිරීමද පසිදුගේ ප්‍රශ්නය තව තවත් තීව්‍ර කරන්නට හේතුවී ඇත. මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරමින් ඇයට වෙනත් සම්බන්ධයක් ඇතැයි චෝදනා නගමින් පසිදු හැසිර ඇත්තේ දැඩි පීඩනයක් පිට කරමින්ය. ඔහු දැඩිව බියට පත්ව සිට ඇත්තේ තම පෙම්වතිය වෙනත් තරුණයකු සමගින් සම්බන්ධයක් ඇතිකර ගෙන තමා හැරයාවි කියාය.

පසිදුගේ හිතේ වූ මේ ප්‍රශ්නය පසුගිය දින දෙකේදීම පැවත ඇත. මේ පළහිලව්ව ලිහා ගැනීමට ඔවුන් දෙපළ හමුවීමට තීරණය කර ඇත්තේ කොළඹ තුරඟ පිටියය. තුරඟ තරග පිටියට පැමිණි යුවළ මඳ වේලාවක් කතා කර කර සිටියද චතුරිට සිතා ගත නොහැකි ආකාරයෙන් උල් පිහියක් අතට ගත් පසිදු ඇගේ ගෙල කපා දමා ඇත. සිදුවීම වී මිනිත්තු පහක් දහයක් යෑමට මත්තෙන් අවට පිරිස් එම ස්ථානයට පැමිණ විපරම් කළත් තරුණිය ඒ වනවිටත් සදහටම සමුගෙන සිටියාය.

තරුණියකට පිහි පහර එල්ල කර ඇති බවට කරන ලද දැනුම් දීමත් සමග කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර ඇතුළු නිලධාරීහු එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. ඒ වනවිටත් කොළඹ සරසවියේ සිසුහුද එම ස්ථානයට පැමිණ සිටියහ. පොලිසිය සැකකාර සිසුවා හඳුනාගත්තේ තුරඟ පිටියේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශන මගිනි. එම සැකකරු තම විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසුවකු බව හඳුනාගත්තේ කොළඹ සරසවියේම සිසුවකු විසිනි.

සැකකාර ශිෂ්‍යයා රැඳී සිටි ශිෂ්‍ය නේවාසිකාගාරය පරීක්ෂා කිරීමේදී ඔහු මානසික ආතතියට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී ඇත. එමෙන්ම මානසික ආතතිය හේතුවෙන් ඔහු ලියන ලද ලියුම් කිහිපයක්ද පොලිසිය විසින් සොයාගනු ලැබීය. කුරුඳුවත්ත පොලිසියේ මූලික විමර්ශනවලට අමතරව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී.ජේ. චන්ද්‍රකුමාර තවත් පොලිස් කණ්ඩායම් දෙකක්ද මේ සැකකරු සොයාගැනීම සඳහා යෙදවූයේ ඔහු ආගිය අතක් නොමැති වීම නිසාය.

පොලිසිය සැකකරුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගැනීමේදී එයට ප්‍රතිචාර දැක්වූයේ සැකකරුගේ මව විසිනි. ඇය එහිදී පවසා ඇත්තේ තම පුතු නිවසට පැමිණි බවත් මුදල් පසුම්බිය හා ජංගම දුරකතනය නිවසේ දමා කොහේ හෝ ගොස් ඇති බවත්ය. මේ අනුව වැල්ලම්පිටිය, කොලොන්නාවේ පිහිටි එම නිවසද පොලිසිය විසින් පරීක්ෂා කළ අතර එහි තිබී සැකකරු විසින් ඝාතනයට යොදාගත් ලේ තැවරුණු උල් පිහියත්, ඝාතනයට යන අවස්ථාවේදී පැලඳ සිටි ටීෂර්ටයත් සොයා ගැනිණි.

සැකකරු ඝාතනය සිදුකර සියදිවි නසා ගැනීමේ අරමුණින් පැනගොස් තිබිණි. සැකකරු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිසිය වෙත භාර දෙනු ලැබීය. ඝාතනය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොටුව මහෙස්ත්‍රාත්වරයා ඊයේ සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (18 වැනිදා) කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇත.

උපුටා ගැනීමකි

එෆ්. අස්ලම්

හේමන්ත ලියණපතිරණ

More from GossipMore posts in Gossip »