රුපියල් 7000/- ඉක්මවා දෛනිකව ආදායමක් ලැබීමේ හැකියාව ජා-ඇල, කඳාන, රාගම ආදී ප්‍රදේශවල යාචකයන් ලෙස ජනතාවට අත පාන බොහෝ පිරිසකට ලැබී ඇතැයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.
විශේෂයෙන් කුඩා දරුවන් ද සමඟ සිය පවුල පිටින්ම යාචකයන් ලෙස මහ මඟට පැමිණෙන බොහෝ පිරිසකගේ දෛනික ආදායම එතරම් ඉහළ ගොස් ඇතැයි අප කළ සොයා බැලීමේදී ද අනාවරණය විය. මෙලෙස පවුලේ සියලු සමාජිකයින් සමඟ මහ මඟට සිඟමනට පැමිණෙන පවුල්වල දරුවන් බොහොමයක් පාසල් වයසේ පසුවන්නන් වෙයි. ඔවුන් සිය පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර දමා හෝ ඉතා කලාතුරකින් පාසල් යන අයවළුන් බව පෙනී යයි. සිය මව හෝ පියා සමඟ මහ මඟට පැමිණෙන මෙම ළමුන් ඉතාම උපක්‍රමශීලී ලෙස ජනතාවගේ අවධානය තමන් වෙත ලබාගෙන මුදල් ලබා ගැනීමට පෙළඹී තිබේ.
මෙලෙස සිඟමන් යදින පවුල්වල සමාජිකයන් බොහෝ පිරිසකට ශාරීරික ආබාධයක් හෝ රෝගී තත්ත්වයක් දක්නට නොලැබීම ද විශේෂත්වයකි. හුදෙක් අසරණ බව කියාපාමින් ජනතාවගේ අවධානයට ලක්වන්නට ඔවුන් සුවිශේෂී ප්‍රාගුණ්‍ය ලබා තිබේ. ඇතැම් විට එලෙස අවධානය ලබා ගැනීමට යම් භාණ්ඩයක් අලෙවි කිරීමට උත්සාහ ගන්නා ස්වරූපයක් ද ඔවුන් පෙන්වති. ජා-ඇල ප්‍රදේශයේ පුද්ගලයකු පවසා සිටියේ මෙවැනි පවුල් මෙහෙයවන තැරැව්කාරයන් ද සිටින බවයි. එම තැරැව්කරුවන් මෙම යාචක පවුල් ගැවසෙන ස්ථානවලට අන් යාචකයන්ට පැමිණීමට ද ඉඩ නොදෙන බව ද ඔහු පවසා සිටියහ.
මෙම යාචක ස්වභාවය ගැන ජා-ඇල ප්‍රමුඛතම ඔසුසල් හිමිකරුවකු වූ ඖෂධවේදී ලයන් අයිවෝ රත්නායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියහ. අප වෙළඳ ව්‍යාපාර කටයුතු කිරීමේදී පොඩි නෝට්ටු කොළ අවශ්‍යයි. අපිට වැඩි වශයෙන් රුපියල් 20/- රුපියල් 50/- රුපියල් 100/- වැනි නෝට්ටු කොළ ගෙනත් දෙන්නේ කුඩා යාචක ළමුන්. එලෙස ගෙනත් දෙන මුදල් ප්‍රමාණය රුපියල් 7000/- සිට 1000/- දක්වා වෙනවා. පසුගිය උත්සව සමයේ මේ මුදල මීටත් වඩා වැඩි වුණා. මේ ළමයින්ගේ දෙමාපියන් කියන්නේ ඒ අයට වෙන රස්සාවක් කරලා හුරු නෑ කියලයි. මට මගේ මිතුරෙක් ළඟදී කිව්වා එයාගේ වාහනයේ රක්ෂණ වාරිකය ගෙවන්න මුදල් ප්‍රදේශයේ ප්‍රකට යාචක පවුලකින් ණයට ඉල්ල ගත්තා කියලා. එක දවසක් එක් යාචකයකු සල්ලි මාරු කර ගන්න ඇවිල්ලා හදිසි කරද්දී මම ඇහුවා ඇයි හදිසි කියලා. රාත්‍රී 9.00 වෙද්දී බීමහල වහනවා ඒ නිසා ඉක්මනට සල්ලි දෙන්න කියලා. ඇතැම් යාචකයන් ගැන අපිට තියෙන්නේ එවැනි අත්දැකීම්.
ජා-ඇල ප්‍රදේශයේ ගෙවතු අලංකරණය ශිල්පියකු හා ජා-ඇල නිම්පුර වෙළඳ සංගමයේ විධායක සභිකයකු වූ ලයන් වසන්ත පොල්වත්ත මහතා Òමට මේ යාචක අය සමඟ ඍජු අත්දැකීම් නැතත් ඇතැම් යාචක පවුල් අත යහමින් මුදල් ගැවසෙන බව දක්නට ලැබෙනවා. රාත්‍රීය එළඹෙන විට ඔවුන් සාමාන්‍ය ජනතාව නොයෙන තරමක් ඉහළ පෙළේ අවන්හල්වලට පැමිණ ආහාරපාන ගන්නවා පේනවා. පහුගිය දවසක මහ මඟ මියගොස් සිටි යාචකයකුගේ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ ගණනක් තිබ්බ බව ආරංචි වුණා. සමහර විට මෙලෙස මහමඟ සිඟමන් යදින බොහෝ පිරිසකට ශාරීරික ආබාධ හෝ රෝගී තත්ත්වයක් තිබෙන බව පෙනෙන්නට නෑ. නමුත් අපි කුඩා දරුවෙක් දැක්කම මුදල් දෙන්න පෙළඹෙනවා. ඒක ස්වභාවය. අපගේ ඒ හැඟීම දඩමීමා කරගෙන ළමුන්ව සිඟමනට වැඩිහිටියන් යොමු කරනවා නම් ඒක වැරදියි. අධික ලෙස මේ ළමයි අතට මුදල් ලැබුණු විට ඔවුන් ඒවා විෂමාචාර දෑ සඳහා වියදම් කිරීමේ හැකියාව වැඩියි.
පවුල් වශයෙන් ළමුන් යොදා ගනිමින් හා ඔවුන්ගේ අධ්‍යාපනය අහිමි කරමින් යාචක වෘත්තීයට කිරීම ළමා අපයෝජනය වැනි යැයි ජා-ඇල ප්‍රදේශයේ වැඩිහිටියන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළහ.
-dinamina






