සිය නිවස තුළදී ගෙල වැලලාගෙන සියදිවි නසා ගත් 16 හැවිරිදි පාසල් සිසුවාගේ මරණයට වගකිවයුත්තා පැහැදිලිව හදුනාගෙන ඇතැයි පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා පැවසීය.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ බණ්ඩාරගම ගුන්ගුමුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් ඉසුරු වික්‍රමආරච්චි නමැති පාසල් සිසුවෙකි.
2021 ඔක්තෝබර 11 වැනි දින නිවසේ කිසිවකු නොමැති අවස්ථාවේදී සිසුවා එල්ලී මියගොස් තිබිණි.
තම එකම දරුවාට අකාලයේ මියයාමට තරම් කිසිදු හේතුවක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දරුවාගේ පියා වන මෝලි වික්‍රමාරච්චි මහතා පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්වත වෙදගේ මහතා හමුවට ගොස් පැමිණිලි කර තිබිණි.
ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන සිදු කළ දීර්ඝ විමර්ශනයෙදී කිසියම් පුද්ගලයකු තරුණියක ආකාරයෙන් සිසුවා හා ජංගම දුරකථනයෙන් යම් තාක්ෂණයක් හරහා අදහස් හුවමාරු කරගෙන ඔහුගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අනතුරුව ඒවා සමාජය තුළ ප්‍රසිදධ කරන බව පවසා සිසුවාගෙන් කප්පම් වශයෙන් මුදල් සහ පෙරගෙවුම් කාඩ්පත් කාලයක් තිස්සේ ලබාගෙන තිබූ බව එකී විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.
ආදායමක් නොමැති මියගිය සිසුවා ඔහු වෙත එම මුදල් ලබාදී ඇත්තේ සිය පියා බුලත්විට විකුණා උයන ආදායමෙන් පියාට නොදැනෙන්නට සොරාගෙන බව පැමිණිලිකාර පියාගෙන් ලබාගත් ප්‍රකාශවලින් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
ඒ බව තව තවත් තහවුරු කරමින් සිසුවාගේ කාමරයේ තැන තැන සගවා තිබූ සූරන ලද පෙරගෙවුම් කාඩ් රැසක් ද පොලීසියට හමුවිය.
එම පුද්ගලයාට පෙර අයුරින් සිසුවා ගෙන් එම කප්පම් මුදල සහ පෙරගෙවුම් කාඩ්පත් නොලැබීමෙන් පසු මියගිය සිසුවාගේ සමීඵතමයින් මරා දමන බවට ද තර්ජනය කිරීම හේතුවෙන් සිසුවා තව තවත් මානසික අසරණභාවට පත්ව ජීවිතයට සමු දීමට තීරණය කිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත අබිරහස් මරණය සිදුවී ඇති බව සක් සුදක්සේ පැහැදිලි වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.
සිසුවාගේ මරණයට හේතු පාදක වූ සියලු කරුණු මේ වන විට අනාවරණය කරගෙන ඇති අතර, නීතිපති උපදෙස් ලැබුණු වාහම නීතිය ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
- දිනමිණ






