බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි සහ දුරකථන උස්සන සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක නායිකාවක් මගියෙකු විසින් අල්ලා හැටන් පොලිසිය වෙත ඉකුත් 02 වැනිදා භාර දී ඇත.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර තරුණිය හැටන් මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර තරුණිය ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට හැටන් කුඩාගම ප්‍රදේශයේදී ගොඩ වූ කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක් බස් රථයේ ගමන් ගත් තරුණයෙකුගේ රු. 65000 ක මුදල් සහිත මුදල් පසුම්බිය සොරා ගෙන ඇති අතර, එහිදී එම තරුණයා මුදල් පසුම්බිය සොරාගත් තරුණියව අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි තිබුණි.
සැකකාර තරුණිය මුදල් පසුම්බිය ඇය සමග පැමිණි අනෙකුත් තරුණියන් වෙත ක්ෂණිකව ලබා දී ඇති අතර එම මුදල් පසුම්බිය රැගෙන එම තරුණියන් දෙදෙනා බස් රථයෙන් බැස පලා ගොස් ඇත.
මුදල් පසුම්බිය නැති වූ තරුණයා පොලිසිය හමුවේ කියා සිටියේ තමන් පෞද්ගලික බැංකුවකට මුදල් තැන්පත් කිරීම සඳහා රැගෙන පැමිණි මුදල් මෙසේ ගැටකපා ඇති බවයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින සැකකාර කාන්තාව අහිකුණ්ඨක කණ්ඩායමක තරුණියක් බවත්, පලාගිය සැකකාර තරුණියන් දෙදෙනා එම කණ්ඩායමේ සාමාජිකයන් බවත් පැවසේ.
මුදල් පසුම්බිය රැගෙන පලාගිය සැකකාර තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.
ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක






