මෙල්බර්න්හි ගිනිකොන දිග දේශීය ක්‍රිකට් තරගාවලියකට ඉහළ පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි කරවන බවට පවසා ඔස්ට්‍රේලියානු ඩොලර් 250,000 කට ආසන්න මුදලක් වංචා කළ බවට ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු චෝදනා ලබා ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙන උසාවි ලේඛනවලට අනුව ලොව ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වන ක්‍රිකට් තරගාවලියක් බව පවසා අදාළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බදු ඉන්වොයිස් සහ මිලදී ගැනීමේ නියෝග ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට සඳහන් වේ.
2021 මාර්තු සිට 2022 ජූලි දක්වා කාලය තුළ මෙල්බර්න්හි ගිනිකොන ප්‍රදේශයේ මල්ග්රේව්හිදී අවස්ථාවන් 18කදී මෙලෙස වංචාවන් සිදුකර ඇතැයි පොලිසිය චෝදනා කරයි.
චෝදනා ලැබූ අදාළ ක්‍රීඩකයා නමින් නව් ද සිල්වා බව එරට මාධ්‍ය වාර්තා කරයි. වංචාවෙන් මූල්‍යමය වාසි ලබාගැනීමේ චෝදනා 18ක් සහ අපරාධවලින් ලැබෙන ආදායම සම්බන්ධයෙන් දැනුවත්ව ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් නව් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබේ.
කෙසේ නමුත් එන්ඩෙවර් හිල්ස් ක්‍රීඩා සමාජය ප්‍රධාන ක්‍රීඩකයන් සමගින් තරගාවලියේ ක්‍රීඩා කර තිබේ. එම ක්‍රීඩා සමාජයට නව්ට එල්ල වූ චෝදනා සමබන්ධයෙන් කිසිදු අදාළත්වයක් නොතිබූ බවට මාධ්‍ය වාර්තාවක් නිකුත් කර තිබීමද විශේෂත්වයකි.
එන්ඩෙවර් හිල්ස් කණ්ඩායමට ටී.එම්. ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ක්‍රිස් ගේල් සහ ශොයිබ් මලික් වැනි ප්‍රකට ක්‍රීඩකයන් ක්‍රීඩා කරමින් සිටී.
-aruna