හෝමාගම, දීපංගොඩ ප්‍රදේශයේ නිවසක දියණියන් දෙදෙනෙකු හා බාල වයස්කාර පුතෙකු වසර කිහිපයක සිට වරින් වර ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන දරුවන්ගේ පියා අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෝමාගම, දීපංගොඩ, සමගි මාවතේ පදිංචි 47 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයාගේ බිරිඳ මීට වසර දහයකට පමණ පෙර දරුවන් හැර යාම නිසා 13 හැවිරිදි පුතා, 16 හැවිරිදි බාල දියණිය හා 24 හැවිරිදි වැඩිමහල් දියණිය එක ම නිවසේ වාසය කර ඇත.
ඒ අතරතුරදී වැඩිමහල් දියණිය වයස අවුරුදු 11 සිට 18 දක්වා අපයෝජනයට ලක්කර ඇති අතර 13 හැවිරිදි පුතාව ද අපයෝජනයට ලක් කර ඇති බව පැවසේ.
අවුරුදු 16 දියණියට සැකකරුගෙන් සිදුවන අපයෝජන සම්බන්ධයෙන් (1929) ළමා ආරක්ෂක අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව මත්තෙගොඩ පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව, එහි නිලධාරී කණ්ඩායමක් නිවසට ගොස් එම දරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය අනාවරණය වීම ත් සමග මෙසේ දරුවන්ගේ පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
එහිදී අනාවරණය වූ කරුණු අනුව, සැකකරු වසර දෙකක් විදෙස්ගතව සිටියදී තමාගේ වැඩිමහල් දියණිය ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන යන බවට ලද ආරංචියකට අනුව මෙරටට පැමිණීමෙන් පසුව ඒ බව පරීක්ෂා කිරීමට යැයි පවසා වැඩිමහල් දියණිය ලිංගික අපයෝජනයට පොළඹවා ගෙන ඇති බව ත් අවුරුදු හතක් තිස්සේ විටින් විට මෙසේ අපයෝජනයට ලක්ව ඇති බව ත් පොලිසිය පැවසීය.
ඒ අනුව, වැඩිමහල් දියණිය වයසින් මුහුකුරා යාම ත් සමග නිවසේ වාසය කළ බාල දියණිය සහ පුතණුවන් ද අපයෝජන ලක් කිරීමට පටන් ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරු, අපයෝජනයට ලක් වූ බව පැවසෙන දැරියන් දෙදෙනා සහ දරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ දරුවන් තිදෙනා බරපතළ ලිංගික අපයෝජනයට ලක්ව නොමැති බව ය.
අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.






