ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවට අදාළ ලියකියවිලි මාධ්‍ය වෙත අනාවරණය වී තිබේ.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ධනුෂ්ක ගුණතිලක වින්දිත තරුණියගේ ගෙළ සිර කර ඇති අතර එහිදී ඇයට “සිය ජීවිතය පිළිබඳ බියක්” දැනී ඇතැයි එම තරුණිය අනාවරණය කර ඇති බවය.
ඒ අනුව, ඇයගේ මොළය ආශ්‍රිතව ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට ද අවශ්‍ය බවට නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.
මෙම නඩුව වාර්තා කිරීම ඇතැම් මාධ්‍යවලට වාරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පොලිසිය ඉල්ලීමක් කර තිබූ අතර මාධ්‍ය ආයතනවල අභියෝග කිරීම් හමුවේ එය ඉවත් කර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
පොලිස් වාර්තා අනුව, ධනුෂ්ක ගුණතිලක, 29 හැවිරිදි අදාළ තරුණිය Tinder යෙදුම හරහා හඳුනාගෙන ඇති අතර Instagram සහ WhatsApp ඔස්සේ කතාබහ කර ඇති බවත්, වීඩියෝ ඇමතුම් ද ලබාගෙන ඇති බවත් හෙළි වී තිබේ.
අධිකරණ වාර්තාවේ දැක්වෙන්නේ, ඔවුන් දෙදෙනා අදාළ සිද්ධියට පෙර එකිනෙකා අඳුනාගෙන නොසිටි බවය.
ධනුෂ්ක ගුණතිලක, අදාළ තරුණියට බ්‍රිස්බේන් වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර නොවැම්බර් 2 වන දා සිඩ්නි නුවර ඔපෙරා බාර් නමැති ස්ථානයකදී මුණ ගැසීමට එකඟ වී ඇතැයි පොලිසිය චෝදනා කරයි.
ධනුෂ්ක ගුණතිලක එම ස්ථානයට ගොස් ඇත්තේ, රාත්‍රී 8.20ට පමණ ය.
පොලිසිය පවසන්නේ, එහිදී ධනුෂ්ක සහ තරුණිය මත්පැන් පානය කර තවත් ආපන ශාලාවකට ගොස් යළිත් මත්පැන් පානය කර රාත්‍රී 10.50ට පමණ යාත්‍රාවකට නැගී ඇති බවය.
එහිදී සැකකරු තරුණියට යම් බලහත්කාරකම් කර ඇති බවත්, පසුව ඇයගේ ගෙළ තද කරගෙන ඇයට ලිංගිකව අතවර කර ඇති බවත් පොලිස් වාර්තාවේ සඳහන් වේ.
මෙම නඩු විමසීම ජනවාරි 12 වන දා යළි පැවැත්වීමට නියමිතය.
mawbima.lk






