Press "Enter" to skip to content

ෂෙඩ් 400ක් හදිසියේම වසා දමයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වාදුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.

ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් වූ ඇණවුම් සඳහා මුදල් ඉන්ධන අවශ්‍ය දිනයට පෙර දින රාත්‍රී 9.30ට පෙර ගෙවා අවසන් කළ යුතුව තිබේ.

කෙසේ වෙතත් මෙවැනි ආකාරයකට මුදල් ගෙවීම අපහසු බවද සභාපතිවරයා පැවැසීය. නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන ලබාගැනීමේ ගැටලුව හේතුවෙන් බොහෝ ඉන්ධන හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන හල් අසළ දිගු පෝලිම්ද නිර්මාණය වී තිබේ.

ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වල ද එවැනිම ගෙවීමේ යාන්ත්‍රණයක් ඇතත් ඔවුන්ට ගෙවීම් අවසන් කිරීම සඳහා මධ්‍යම රාත්‍රිය තෙක් කාලය ලබා දී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 700ක් පමණ විදේශීය තෙල් සමාගම් වෙත පැවරීමට රජයේ සුදානම මධ්‍යයේ මෙම නව ගෙවීම් ක්‍රමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය. චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් පමණ ඉන්ධන පිරවුම්හල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිණුමට මුදල් තැන්පත් කළද නියමිත වේලාවට ඉන් ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවූ බවයි.