ප්‍රධාන නල මාර්ගයකින් ජර්මනියට සිදුකෙරෙන ගෑස් සැපයුම අත්හිටුවීමට රුසියානු සමාගමක් පියවර ගෙන තිබේ.
“ගෑස්ප්‍රොම්” නමැති අදාළ සමාගම ප්‍රකාශකර ඇත්තේ එම නල මාර්ගයේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජර්මනියට ගෑස් සැපයීම අත්හිටුවීමට කටයුතු කළ බවය.
දින 03ක කාලයක් නඩත්තු කටයුතු සඳහා අදාළ ප්‍රධාන ගෑස් නල මාර්ගය වසාදැමීම හේතුවෙන් ජර්මනිය බරපතළ අර්බුදයකට පත්වන අතර මෙම තත්ත්වය යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
පවතින තත්ත්වය හමුවේ ජර්මානු රජය විසින් එරට ජනතාවට දැනුම් දී ඇත්තේ අරපිරිමැස්මෙන් යුතුව ගෑස් සහ විදුලිය පාරිභෝජනය කිරීමට කටයුතු කරන ලෙසය.
මේ අතර රුසියාවේ ඛනිජ තෙල් සඳහා මිල සීමාවන් පැනවීමට ජී. 7 සමුළුවේ සාමාජික රටවල මුදල් අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබේ.
අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් විසින් විදෙස් මාධ්‍ය වෙත මේ බව සඳහන් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ තීරණය රුසියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවය.
රුසියාව විසින් යුක්‍රේනය වෙත දිගින් දිගටම සිදුකරන ආක්‍රමණකාරී ක්‍රියාකලාපය සැලකිල්ලට ගනිමින් ජී.7 සමුළුවේ සාමාජික රටවල මුදල් අමාත්‍යවරුන් අදාළ එකඟතාවට පැමිණ තිබුණි.
කෙසේවෙතත් රුසියාවට එරෙහිව ඛනිජ තෙල් මිල සීමාවන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකර නොමැති බවද සඳහන්ය.
අදාළ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාව ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ ඛනිජ තෙල් සඳහා මිල සීමාවන් පනවන රටවලට සිය සැපයුම් අත්හිටුවීමට පියවර ගන්නා බවය.






