ඉරානයේ බොහෝ ගැහැණු ළමයින් සහ ඔවුන්ගේ පවුල් විවාහයට පෙර කන්‍යාභාවය වැදගත් කොට සළකති.
ඇතැම් විට ඔවුන් හා විවාහ වන පිරිමින්, ඔවුන් විවාහයට පෙර කන්‍යාවන් ව සිටි බවට සහතිකයක් ද ඉල්ලා සිටිති. මේ පුරුද්ද ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සලකන්නේ මානව හිමිකම්වලට පටහැනි ක්‍රියාවක් ලෙසට ය. නමුත් පසුගිය වසර තුළ මෙම පුරුද්දට එරෙහිව හඬ නගන පිරිස බොහෝ සෙයින් වැඩි වී තිබේ.
“ඔබ කන්‍යාවක් නොවන බැවින් මා රවටා විවාහයකට පොළඹවා ගත්තා. ඇත්ත දැනගතහොත් කිසිවෙකුත් ඔබ හා විවාහ වන්නේ නැහැ.”
මරියම් සමඟ පළමු වරට ලිංගිකව එක්වීමෙන් පසු ඇගේ සැමියා ඇයට පවසා තිබුණි.
තම පළමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු නොවූ මුත්, තමන් මින් පෙර කිසි දිනක ලිංගික සංසර්ගයේ යෙදී නැති බව ඇය ඔහුට කියා සිටියා ය. නමුත් ඇයව විශ්වාස නොකළ ඔහු, ඇය විවාහයට පෙර කන්‍යාවකව සිටි බවට ‘කන්‍යාභාවය පිළිබඳ සහතිකයක්’ ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
මෙය ඉරානයට අසාමාන්‍ය දෙයක් නොවේ. විවාහ ගිවිස ගැනීමෙන් පසුව බොහෝ ඉරාන කාන්තාවන්, වෛද්‍යවරයකු වෙත ගොස් තමන් කිසි දිනක ලිංගිකව හැසිරී නොමැති බව සනාථ කරන පරීක්ෂණයක් සිදු කරගනිති.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ පරීක්ෂණයට කිසිදු ආකාරයක විද්‍යාත්මක වටිනාකමක් ඇත්තේ නැත.
මරියම්ගේ සහතිකයේ සඳහන් වූයේ ඇගේ කන්‍යා පටලය ‘ඇදෙන සුළු’ බවයි. අභ්‍යන්තර ලිංගික සංසර්ගයකින් පසුව ඇයට ලේ වහනය නොවීමේ ඉඩක් ඇති බව එයින් අදහස් වේ.
“එය මගේ අභිමානයට එල්ල කළ පහරක් වුණා. මම වරදක් කළේ නැති නමුත් මගේ සැමියා මට දිගින් දිගටම අපහාස කළා” යි ඇය පැවසුවා ය. “මට තව දුරටත් එය දරාගෙන සිටීමට හැකි වූයේ නැහැ. ඒ නිසා මම බෙහෙත් පෙති අධිකව පානය කර සියදිවි නසාගැනීමට උත්සහ කළා.”
එහෙත් ඉක්මනින් ම රෝහල් ගත කෙරුණු හෙයින් ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය.
මරියම්ගේ කතාව ඉරානයේ බොහෝ කාන්තාවන්ගේ ජීවිත යථාර්ථය වී තිබේ. විවාහයට පෙර කන්‍යාවක් වී සිටීම බොහෝ ගැහැණු ළමයින්ට මෙන් ම ඔවුන්ගේ පවුල්වලට ද තවමත් තීරණාත්මක ය. එය එරට ගතානුගතික සංස්කෘතිය තුළ ගැඹුරින් ම මුල් බැස ඇති වටිනාකමකි.
නමුත් ඉතාම මෑතක සිට, මෙය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගෙන තිබේ. කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ පුරුද්ද නතර කරන ලෙස රට පුරා කාන්තාවන් සහ පිරිමින් මේ වන විට හඬ නගමින් සිටිති.
කන්‍යාභාවය ඔප්පු කිරීම සඳහා වන පරීක්ෂණවලට විරෝධය පළ කරමින් පසුගිය නොවැම්බරයේදී ඉදිරිපත් කෙරුණු අන්තර්ජාල පෙත්සමකට මාසයක් ඇතුළත අත්සන් 25,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණි. කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ පුරුද්දට මෙතරම් ඉරාන වැසියන් පිරිසක් විවෘතව අභියෝග කළ පළමු අවස්ථාව වූයේත් මෙය යි.






