Press "Enter" to skip to content

මම තමයි හොඳටම කළේ – මම හොඳටම කළ උන් තමයි මටත් හොඳටම කළේ

කිසිවක් නොකළ ගෝඨාට යන්න රටක් නැත

රාජපක්ෂවරු පරාද කර 2015 දී පිහිටු වූ යහපාලන ආණ්ඩුවට පළමු දින සියය ඉක්ම යමින් තිබිණ. හදිසියේ රෝගාතුර වූ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මහ හෙහෙවරක් කළ මාදුළුවාවේ සෝභිත හිමි හදිසියේ රෝගාතුරව රෝහල්ගත කෙරිණ. සෝභිත හිමියන්ගේ නායකත්වය නිසා පරාද වූ මහින්ද රාජපක්ෂ එහිමියන්ගේ සුවදුක් විමසීමට ගියේය.

‘‘මහත්තයෝ අපිට වැරදුණා.’’ සෝභිත හිමියෝ මහින්ද රාජපක්ෂට කීහ. යහපාලන ආණ්ඩුව පිහිටුවා පළමු දින සියය ඉක්ම වන්නටත් පෙර එය පිහිටවීමට කැපවූ අයටම ආණ්ඩුව එපා විණ.

ඒ යහපාලන ආණ්ඩුව පිහිට වූ රනිල් දේශපාලන අත්පොත් තබා තිබුණේ ආසියාවේ දේශපාලන නරියා ලෙස හංවඩුව වැදී තිබුණ තම මාමා ජේ.ආර්.ගෙනි. ජේ.අර්. රනිල්ව 1977 දී තමන් ළඟට ගත්තේ තම මල්ලී වූ රාජනීතිඥ එම්.ඩබ්ලිව්. ජයවර්ධන නම් නීති විශාරදයා ළඟ කනිෂ්ඨ නීතිඥයකු ලෙස සේවයට යවමිනි. මේ ඩබ්ලිව්. ජයවර්ධන 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණයට මුල් වූ නීති විශාරදයාය. මේ නීති විශාරදයා තම කාර්යය කෙරෙහි කොතරම් උනන්දු වූයේද යත් ඉන්දියාවේ ගොස් ජ්‍යොතිශාස්ත්‍රඥයකු ලවා එය එළිදැක්විය යුතු මොහොත ගැන උපදෙස් ද ගත්තේය. තරුණ රනිල් මේ කෘතහස්ත නීතිඥයාද දේශපාලන නරියා වූ ජේ.ආර්ගේද හැසිරීම බලා හැදුනෙකි. මෙවර ජනාධිපති වූ පසු ඇමරිකා තානාපතිනිය හමු වූ මොහොතේ ‘‘මම හැත්තෑ අටේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන වැඩේටත් දායක වූ’’ බව කීවේ මේ ඉතිහාස අත්දැකීම නිසාය.

යහපාලන ආණ්ඩුවේ අගමැති වූ රනිල් මුලින්ම කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් සම්මත කරවීමය. එහි තිබූ වගන්ති අනුව මහින්ද රාජපක්ෂට, බැසිල්ට, ගෝඨාභයට, නාමල්ට යළි ජනාධිපති වෙන්නට බැරි තත්ත්වයට පත්කර තිබිණ. එම තත්ත්වය යටතේ වුවද මේ රටේ මහා සංඝරත්නයද, ජනතාවද බලාපොරොත්තු තබා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ගැනය. දිගන වූ සිංහල – මුස්ලිම් ගැටුමත් සමග ඒ බලාපොරොත්තුව උග්‍ර විය. උතුරේ පන්සලක හිමිනමකගේ දේහය ආදාහනයට ඉඩ නොදීමත් සමග ගෝඨා ගැන බලාපොරොත්තුව දෙගුණ විය. උතුරේ හමුදා කඳවුරු කිහිපයක් ඉවත් කිරීමත් සමග ඒ බලාපොරොත්තුව තෙගුණ විය.

සියල්ලෝ දැන දැන තරු පන්තියේ හෝටල් දෙකකටත්, කතෝලික දේවස්ථාන තුනකටත් මුස්ලිමුන් ප්‍රහාර එල්ල කිරීමත් සමග ගෝඨා ගැන ප්‍රාර්ථනය සිව් ගුණයකින් ඉහළ ගියේය. දේශපාලන අනාථභාවයට පත් වූ වමේ පක්ෂ නායකයන් – ජාතික ආරක්ෂාව අහිමි වීම නිසා අනතුරට පත් වූ උතුරු නැගෙනහිර මායිම්වල ජීවත් වූ ජනතාව – භික්ෂූන්ට චීවරධාරියා කියා අවමන් කිරීම, පිං කැටයට සීල් තැබීම වැනි වැඩ නිසා නින්දාවට පත් වූ භික්ෂූන් – පාස්කු ප්‍රහාරය නිසා භීතියට පත් කාදිනල් ප්‍රමුඛ කතෝලික ජනතාව – පොහොර සහනාධාරය කැපීම නිසා අසරණ වූ ගොවීන් – සියයට 25 ක් බදු ගැසීම නිසා අසීරුවට පත් ව්‍යාපාරිකයන් – නීතිය, යුක්තිය, ක්‍රමයේ වෙනසක් පතා සුවහසක් පේස්බුකියේ, ට්විටරයේ ඉන්නා තරුණ ප්‍රජාව – මේ හැමෝම පැතුවේ ගෝඨාය.

එහෙත් මේ සෑම ප්‍රජාවක්ම එක හඬින් අයදිද්දී ගෝඨා දේශපාලනයට එනවාට එරෙහි එක් අයෙක් විය. ඒ නන්දසේන ගෝඨාභය රාජපක්ෂය. ඔහු පමණය ගෝඨාභය නම් කෙනකු ජනාධිපති වෙනවාට අකැමැති වූයේය. සංඝ රත්නය ප්‍රධාන මහ ජනතාවද වෛද්‍යවරු, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රධාන මහා ජනකාය එක පැහැර ගෝඨාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ආයාචනා කරන්නට වූහ. ගෝඨාට ඒ සඳහා තිබූ ප්‍රධානම බාධකය වූයේ ඇමරිකානු පුරවැසිභාවයය. ගෝඨා තම අනාගත ජීවිතය සැලසුම් කරගෙන තිබුණේ ඇමරිකාවේ ගත කිරීමටය. පුත්‍රයාද ඇමරිකාවේ පදිංචිකරුවකු බැවින් මහලු විය ඔහු සෙවණේ ජීවත් වීම ගෝඨාගේ අරමුණ විය. එහෙත් මෙරට ජනතාවගේ ඉල්ලීම මත ගෝඨා ඇමරිකානු පුරවැසි බව අත්හරින ලියවිලි භාර දුන්නේය. ගෝඨා ඇමරිකානු පුරවැසිභාවය අත්හරින ලියවිලි භාර දීම පිළිබඳ ප්‍රවෘත්තිය 2015 න් පසු මෙරට ජනතාව ඇසූ ස්වර්ණමය ආරංචිය වූ බව එදා මහා සංඝරත්නය පැවසූහ.

එහෙත් පැවති ජරාජීර්ණ වූ සිස්ටම් චේන්ජ් කිරීමට ඉන්නා එකම තැනැත්තා තමා බව ගෝඨා මැතිවරණ කැම්පේන් එකේදී ඔප්පුකර පෙන්වූයේය. පෝස්ටර්, බැනර්, කටවුට් කිසිවක් ගෝඨා වෙනුවෙන් ඉදිවූයේ නැත. ගෝඨා දේශපාලන වේදිකාවේ කතා කළේ නැත.

කතා කළ හැම අවස්ථාවකම කතා කළේ තම ආර්ථික හා රට හදන ප්‍රතිපත්තිය ගැන පමණමය. ඒ අතින් බැලූ විට ගෝඨා මැතිවරණ සිස්ටම් චේන්ජ් කළ පළමු ඓතිහාසික පුරුෂයාය. ගෝඨා අති විශාල ඡන්දයකින් දිණුවේය. යහපාලන ආණ්ඩුව කළ විදියටම කවුරුත් සිතුවේ ගෝඨා පළි ගැනීම අරඹා වැඩ කරතැයි කියාය.

‘‘පළි ගන්න ගියොත් යහපාලන ආණ්ඩුවට වුණ දේ වෙනවා.’’ ගෝඨා කර ඇරියේය. ඒ වෙනුවට වැඩ කිරීමට කාලය යෙදවූයේය. ජනාධිපති කාර්යාලයේ වියදම් අවම කළේය. තනි ආරක්ෂක වාහනයකින් ගමන් ගියේය. ගෙදරින් ගෙන යන කෑම එක කෑවේය. තම කුඩය, තම අතින් උසුලාගෙන ගියේය. ජනාධිපති මන්දිරයේ වාසය අතහැර තම ගෙදර ඉඳන් වැඩට ආවේය. ඒ එහෙම කරවූ ඉතිහාසයේ පළමු වැන්නාය. මෙරට තරුණ පරම්පරාව ඉල්ලූ පුරවැසි ජීවිතයක් ගත කරන ජනාධිපති වූයේ ගෝඨාය.

ඊළඟට ගෝඨා රජයේ ඉහළ තනතුරුවලට අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගත්තේය. වෙනම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් දමා ආයතන ප්‍රධානීන් තෝරා ගත්තේය. ජනාධිපතිවරණයක පළමු ආසනයේ ප්‍රතිඵල නිකුත් වූ ගමන් ජනාධිපති මැතිවරණ කැම්පේන් එකේ සිටියෙක් දුවගොස් ආයතනයක මහ පුටුවේ වාඩිවන සිරිත නැති කරන්නට ගෝඨා උත්සාහ කළේය.

ඇමැතින්, මන්ත්‍රීන්ට අලුතින් වාහන ගෙන්වන සිරිත නතර කළේය. අලුතින් කාර්යාල ගොඩනගා ඇමැතින්ට භාර දීමද නතර කළේ ය. කොටින්ම අමාත්‍යාංශවල ජනාධිපති, ඇමැති ඡායාරූප එල්ලීමද තහනම් කළේය. පුරවැසියන් පැතූ සිස්ටම් චේන්ජ් එකේ එක වැඩ කොටසක් මේය.

ගෝඨා අධිකරණය පුළුල් කළේය. ඊට නව විනිසුරුවන් රාශියක් අලුතින් පත් කළේය. එහෙත් ඒ එකම අධිකරණයකටවත් බිංදුවක බලපෑමක් නොකළේය. තමන්ගේ මිරිහානේ ගෙය ගිනි තියන්නට එන උන් වළක්වන්නට පාර හරහා බසයක් හරස් කළ තැනැත්තා රිමාන්ඩ්ගත කළත් ගෝඨා කතා කළේ නැත. ගෙදරට ගිනි තියන්නට ආ උන්ට ඇප දී අත්පුඩි හා ජයඝෝෂා මැද නිදහස් කළත් කතා කළේ ගෝඨා නොවේ. අන්තිමට මිරිහානේ ගෙදරින් පැන්නූ පසු ගෝඨා නතර වූයේ ජනාධිපති මන්දිරයේය.

ජූලි නව වැනිදා ජනාධිපති මන්දිරය වට කරන්නට එන පිරිස ගැන ආරක්ෂක බුද්ධි අංශ වෙතින් ගෝඨා විමසීමක් කළේ ය. විසිපන්දාහක් උපරිම වශයෙන් එනු ඇතැයි බුද්ධි අංශ ඔහුට දුන් උපදෙසය. අන්තිමේදී ගෝඨා තමන්ම පත් කළ ආරක්ෂක ලේකම්ද, හමුදා, ගුවන්, නාවික හමුදාපතිවරුන්ද, පොලිස්පතිද ජනාධිපති මන්දිරයට කැඳවා එහි අණදෙන මධ්‍යස්ථානය ගොඩ නැගුවේය. ආරක්ෂක අංශවලට රාජකාරී කිරීම පහසු කරනු පිණිස හදිසි නීතිය පනවා ඇඳිරි නීතියද ප්‍රකාශ කර තිබියදී මාතරින්ද, නුවරින්ද, අනුරාධපුරයෙන්ද බලෙන් කෝචිචි අරන් දසදහස් ගණන් කොළඹ එනතුරු නිරීක්ෂණය කරමින් උන්නෝය. කොලු කුරුට්ටන් ගෝල්ෆේස් පිටිය සිසාරා සිට ගන්නා තුරු බලා උන්නෝය. චැතැම් වීදියෙන් බැංකු මාවතින් හැම පැත්තෙන්ම ජනාධිපති මන්දිරයේ තාප්ප උඩින් එනතුරු බලා උන්නෝය. නිරායුද කොලු කුරුට්ටෝ ජනාධිපතිගේ මිදුලට යන විට ‘සර් දැන් පළා යමු’ යි කියා වරායට ගෙනගොස් නැව් නැංවූවෝය. ගෝඨා නැව් නගින්නත් කලින් මහා රණවිරු ආරක්ෂක ලේකම්, හමුදාපති, පොලිස්පති, කොලු කුරුට්ටන්ට අසු නොවී පැන දුවන්නට තරම් වික්‍රමාන්විත වූවෝය. පැය කීපයක් ඇතුළත ජනාධිපති කාර්යාලය, අරලියගහ මැදුර, අග්‍රාමාත්‍ය කාර්යාලය, කොලු කුරුට්ටෝ අල්ලා ගත්තෝය. ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යන ගෝඨාම පත් කළ රණවිරුවෝ ගෝඨා නැව් නැග්ගාට පසු ආරක්ෂිතව රාජකාරී කරන්නෝය.

ගෝඨාගේ ඉතිහාසයේ කවදාවත් ත්‍රස්තයන් සමග සටන් විරාම ගිවිසුම් අත්සන් කළේ නැත. රටේ කෑල්ලක් ඊළාම්වාදීන්ගේ ප්‍රදේශ යැයි කියා ලියා දුන්නේ නැත. උතුරු නැගෙනහිරින් හමුදා බැරක්කයට සීමා කර ඉන්දියන් හමුදා මෙරටට කැඳවා රටේ ස්වෛරීත්වය පාවා දුන්නේ නැත. කොටින්ට හමුදාව ලවා ආයුද දුන්නේ නැත. මේවා මේ රටේ මිනියවත් වැළලීමට ඉඩ නොදිය යුතු දේශද්‍රෝහී ක්‍රියාකාරකම්ය.

එමතු නොව මෙරට කළ සෑම රාජ්‍ය නායකයාටම චෞරයකුය යන චෝදනාව එල්ල කිරීමට හේතු ඇත්තේය. වික්ටර් අයිවන්, චන්ද්‍රිකා බණ්ඩාරනායකට කීවේ චෞර රැජින කියාය. එහෙත් ඒ සියල්ලෝ මෙරට නිදහසේ දේශපාලනය කරති. ජනතාවගේ ඉල්ලීමට ඇමරිකානු පුරවැසිකම අත්හැර ඇවිත් ජනාධිපති වූ මේ අපරාධ කිසිවක් නොකළ ගෝඨාට යන්න රටක් නැත. අද එක ගහක් යටය, හෙට තව ගහක් යට සෙයියාවෙන් රටවල් මාරු කරන්නට වී ඇත්තේය. ලංකාවට ඒම දැන්ම නොකළ යුතු බව ජනාධිපති රනිල්ම කියන්නේය.

මේ ජනාධිපති වී ඉන්නේ ගෝඨා පත් කළ අගමැතිය. ආරක්ෂක ලේකම් ගෝඨා පත් කළ ආරක්ෂක ලේකම්ය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගෝඨා පත් කළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාය. යුද, ගුවන් නාවික, ත්‍රිවිධ හමුදාපතිවරුද ඔහුම පත් කළ ප්‍රධානීන්ය. එහෙත් ගෝඨාට ලංකාවට එන්නට බැරිය.

දැන් ගෝඨාට තියෙන්නේ තමන්ගේ සුප්‍රසිද්ධ උදාන වාක්‍ය කිය කියා, රටින් රට පැන ඉන්නය.

‘‘මම තමයි හොඳටම කළේ – මම හොඳටම කළ උන් තමයි මටත් හොඳටම මෙහෙම කළේ’’

උපුටා ගැනීම – අරුණ පුවත්පත