22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීමට සමත්වු නෙත්මි අහිංසා ක්‍රීඩිකාව අද (08) අලුයම දිවයිනට පැමිණියාය.
ඇය පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මල්ලවපොර සංගමයේ නිලධාරීන් ගුවන්තොටුපොළ පරිශ්‍රයට එක්ව සිටියේය.
22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට 18 හැවිරිදි නෙත්මි අහිංසා පසුගියදා සමත් වුණේ සිය ප්‍රතිවාදී ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි.
එහිදී නෙත්මි අහිංසා ලෝකඩ පදක්කම දිනා ගත් අතර නෙත්මි දිනාගත් ලෝකඩ පදක්කම වාර්තා අතරට එක් වුණේ පොදුරදමඩුලු ක්‍රීඩා උලෙළෙක මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව හිමි කර ගත් පළමු පදක්කම ලෙසය.
මව්බිමට පැමිණි නෙත්මි දැක්වු අදහස්,
“ඇත්තටම ගොඩක් සතුටුයි. නමුත් මම බලාපොරොත්තු වුණේ රන්පදක්කම දිනාගන්න. නමුත් මට ඒක නොහැකි වුණා. ගොඩක්ම සතුටු හිතෙන්න මල්ලවපොර ඉතිහාසය වෙනස් කරමින් ලංකාවට පළමු වතාවට මල්ලවපොරවලින් පොදුරාජ්‍ය මණ්ඩලයීය නියෝජනය කරමින් පදක්කමක් ගෙන එන්න හැකිවුණ එක ගැන. ලංකාවේ මේ පවතින තත්ත්වයත් එකක් ලංකාවට පදක්කමක් අරගෙන කීර්තියක් අත්කර දුන්න එක ගැන සතුටුයි. මට හැබැයි රන් පදක්කම ගන්න බැරි වුණා. ඒ හැම දුර්වලතාවයක්ම හදාගෙන ඊළඟ පාර තියෙන්නේ ඔලිම්පික්.. මම ඔලිම්පික් යන්නනම් රෑන්කින් සීනියර් මීට් ගොඩක් අල්ලන්න තියෙනවා. ඒ හැම එකක්ම නියෝජනය කරලා. ඔලිම්පික්වලට කොලිෆයිඩ් වෙන්න මම සූදානම්වෙනවා. මගේ පුහුණුකරුතුමාත් සමඟ. ඔලිම්පික්වලින් පදක්කමක් ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තැනට එන්න ගොඩක් උදව් කළා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන්. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලුම දෙනාට ස්තූතිවන්ත මේ අවස්ථාවේදී වෙනවා. මගේ තාත්තා පෙදරේරුවෙක් ඒත් මොන ආර්ථික අපහසුතා තිබුණාත් මම ඉල්ලන හැමදෙයක්ම මට ගෙනත් දුන්නා. අම්මයි තාත්තායි මට පුළුවන් විදිහට කන්න දුන්නා. ඇත්තම ඒ දෙන්නා ලොකු ශක්තියක් වුණා. මගේ මාස්ටර් ඒ දෙන්නට බැරි දේවල් මට දුන්නා. ඇත්තටම මේ පදක්කම මට නෙමෙයි අයිති වෙන්න ඕනේ එයාලටයි, මගේ රටටයි. ඒ වගේම පදක්කමේ සම්පූර්ණ අයිතිය මේ රටට.”






