Press "Enter" to skip to content

රනිල් ජන්ද 134ක් ගත්තේ කොහොමද? ‌බැසිල් බත්තරමුල්ලේ-හරීන් ෂැංග්‍රිලාවේ-ගෝඨා සිංගප්පූරුවේ-වජිර ගෙදර සිට මෙහෙයුමක! දෙමළ සන්ධානය වෙනස් වුණේ සුමන්තිරන්ගේ කතාවකින්! ගෝඨා මවුන්ට් එලිසබෙත් රෝහලේ චෙකප් එකක! හෙට අනිද්දාම මිරිහානේ ගෙදරට! (රාජ්‍ය රහස්) EXCLUSIVE

දිනපු දා රෑ රනිල්-මහින්ද විනාඩි 45 කතාබහක්!

නාමල්ගේ ගෙදර ග්‍රෑන්ඩ් පාටියක්!

සජිත් කරපු දේශපාලන කැපකිරීම!

ධම්මික රනිල් සාකච්ජාවක්!

ජනපති සටනට සිව්කොන් සටනක!

ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයා තේරීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ඡන්ද 134ක් ලබාගෙන ලංකාවේ අටවන ජනාධිපතිවරයා බවට පත්වීමට පසුගිය බදාදා දිනයේදී වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබිණි. රනිල්ට එසේ ඡන්ද 134ක් හිමිවෙද්දී විපක්ෂයේ සහාය පළවූ අපේක්ෂකයා බවට පත්ව සිටි ඩලස් අලහප්පෙරුම මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 82ක් පමණි. ජවිපෙන් ඉදිරිපත් වූ එහි නායක අනුරට ඡන්ද 03ක් හිමිව තිබූ අතර, අවලංගු ඡන්ද සංඛ්‍යාව 04ක් ලෙස සටහන්ව තිබිණ. කෙසේ වෙතත් බදාද දිනයේදී අපේක්ෂකයන් තුන්දෙනකු අතර මේ ආකාරයට ඡන්ද ප්‍රමාණය බෙදී ගියද ජනාධිපති සටන සඳහා මුල් අවස්ථාවේදී අපේක්ෂකයන් සිවුදෙනකු ඉදිරිපත් වන බව ප්‍රකාශ වී තිබිණ. ඒ, පොහොට්ටු පාර්ශ්වයෙන් රනිල් වික්‍රමසිංහත්, සමගි ජන බලවේගයේ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාසත්, පොහොට්ටුව පාර්ශ්වයෙන්ම ඩලස් අලහප්පෙරුමත්, ජනතා විමුක්ති පෙරමුණෙන් අනුර කුමාර දිසානායකත්ය. ඒ අනුව පසුගිය සතිය වන විට මාධ්‍ය වාර්තා කොට තිබුණේ මේ සිවුදෙනා අතර බදාදා දිනයේදී ඡන්ද සටන පැවැත්වෙන බවකි. අඟහරුවාදා දින ඊට අදාළ නාමයෝජනා භාරදීමට නියමිත වී තිබිණ.

සජබෙට පණිවුඩ පිට පණිවුඩ!

නමුත් සති අන්තයේ සිටම මෙම නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවලින් විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් තිබිණ. එහිදී ඇතැම් පිරිස් කියා සිටියේ සමගි ජන බලවේගය විපක්ෂයක් වශයෙන් ඡන්ද සටනට ඉදිරිපත් නොවී, පොහොට්ටුව පාර්ශ්වයෙන් රනිල්ට එරෙහිව ඉදිරිපත්ව සිටින ඩලස්ට සහාය දැක්විය යුතු යැයි කියාය. ඩලස්ගේ පාර්ශ්වයෙන්ද ඒ සම්බන්ධයෙන් විටින් විට සජබයට පණිවුඩ පිට පණිවුඩ එවමින් තිබූ අතර, සජබය ඇතුළෙන්ද එම යෝජනාවම පැමිණෙමින් තිබූ ආකාරයක් සති අන්තය වන විට දැකගන්නට ලැබිණි.

ඩලස්-සජිත් මුහුණට මුහුණ හමුවක්!

මේ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මකම සාකච්ඡාව පැවැතියේ සඳුදා රාත්‍රියේ කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි එක්තරා කාර්යාලයකය. මෙම සාකච්ඡාවට පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන ඩලස්, වාසු, විමල්, ගම්මන්පිල ඇතුළු කණ්ඩායමද, සජබය පැත්තෙන් සජිත් ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ. මෙහිදී ඩලස්ලාගේ පාර්ශ්වයෙන් සජිත්ට නාමයෝජනා ලබාදීමෙන් වැළකී ඩලස්ට සහාය පළකරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් වුවද, සජිත් ඊට එකඟතාව පළ කළේ නැත. සජිත් කියා සිටියේ තමන්ද ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වනවා යැයි කියාය. ඒ අනුව දෙපාර්ශ්වයේම සාමාජිකයන් එම කාමරයේ සිටියදී අවසාන වශයෙන් තීරණයක් ගැනීම සඳහා ඩලස් සහ සජිත් වෙනම කාමරයක තවත් ඉතා තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්හ.

ඩලස් අන්තිම ප්‍රශ්නයත් සජිත්ගෙන් අහයි!

මෙහිදීද ඩලස් පෙර ඉල්ලීමම ඉදිරිපත් කරමින් සජබෙ සහාය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිද්දී සජිත් පෙර ලබාදුන් පිළිතුරම ලබාදෙමින් තමන් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කියා සිටියේය. ඒ අනුව තවදුරටත් සාකච්ඡා කොට පලක් නොමැති බව වටහා ගත් ඩලස්, සාකච්ඡාව අවසන් කිරීම සඳහා ඉංග්‍රීසියෙන් සිය අවසන් ප්‍රශ්නය සජිත්ට යොමු කළේය. ඒ, ‘මේක ඔබතුමාගෙ අන්තිම තීන්දුවද?’ යැයි කියාය. සජිත්ද ඊට ‘ඔව්‘ කියමින් පිළිතුරු දීමත් සමග සාකච්ඡාව අවසන් කිරීමට ඩලස් පියවර ගත්තේය. ඒ සමගම සමාජ මාධ්‍ය වෙබ් අඩවි මෙන්ම ජාතික මට්ටමේ වෙබ් අඩවිද ඩලස් හා සජිත් අතර සාකච්ඡා බිඳවැටී ඇති බව වාර්තා කිරීමට පියවර ගත්තේය.

මන්ත්‍රී කණ්ඩායමෙන් සජිත්ට යෝජනා!

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව නැවත වතාවක් අඟහරුවාදා දිනයේදී පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්කිරීමට සජිත් පියවර ගත්තේය. ඊට හේතුව වූයේ මෙම සටනේදී එක්කෝ අනිවාර්යයෙන්ම සජිත් ජනාධිපති ධුරයට භාරගත යුතු බවට හෝ එසේත් නැත්නම් අගමැති ධුරය බාරගත යුතු බවට පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තුළින් දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබීමය. ඒ අනුව රැස්වීම ආරම්භ වීමෙන් පසු පළමුව කතා කළ මුජිබර් රහුමාන් පෙන්වා දුන්නේ මීට පෙර ගෝඨාභය යටතේ තනතුරු දැරීම ප්‍රතික්ෂේප කළ නමුත් මේ වන විට ගෝඨාභය නොමැති නිසා කුමන තත්ත්වයක් යටතේ හෝ ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය සජිත් විසින් ලබාගත යුතු යැයි කියාය.

මුජිබර්-අජිත් එකම මතයක!

‘පහුගිය අවස්ථාවෙ ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ හිටපු නිසා එයා යටතේ කිසිම තනතුරක් භාරගත්තේ නෑ. ඊට පස්සේ ගෝඨා අයින් වෙනකන් අපි බලන් හිටියා. දැන් ගෝඨා නෑ. දැන් රාජපක්ෂලා හදන්නේ වෙන කෙනෙක්ව හරි මෙතැනට දාගෙන ඒගොල්ලන්ගෙ වැඩ ටික කරගන්න. අපි ඒකට ඉඩ තියන්න හොඳ නෑ. ඔබතුමා මේකට ඉල්ලන්නම ඕනෙ…’ යනුවෙන් මුජිබර් කියද්දී අජිත් පී. පෙරේරාද දැරුවේ එම මතයය.

අශෝක් කියපු කතාව!

‘ඔබතුමා තරග කරන්න ඕනෙ කියන මතයෙ පක්ෂයෙ ගොඩක් අය ඉන්නවා. මේ අලුත් පක්ෂය හදන්න අපි මුල් වුණා. මම රනිල් එක්ක ඉඳිද්දී මට කිසිම අඩුවක් තිබුණෙ නෑ. මට හොඳ ඇමැතිකමකුත් දීලා තිබ්බා. හැබැයි අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා එතුමගෙන් අයින් වෙලා අලුත් පක්ෂයක් හදන්න. අපි ඒක කළා. ඒ නිසා අපි මෙතැනින් එළියට ගිහින් ජනාධිපතිකමත් ගන්න ඕනෙ….’ යනුවෙන් අජිත් කියද්දී අශෝක් අබේසිංහද සිටියේ එම මතයේමය.

‘ඔබතුමා මේ තීරණය ගන්න. මේ පක්ෂය හදලා අපි රට හදන්න ඕනෙ. අපිට රාජපක්ෂලගෙ අතකොලුවක් යටතේ දේශපාලනය කරන්න බෑ. එහෙම වුණොත් මම මේකෙන් අයින් වෙලා ගෙදර ඉන්නවා….’ යනුවෙන් කියද්දී මන්ත්‍රීවරු සියලු දෙනාටම අදහස් දැක්වීමට සජිත් ඉඩකඩ ලබාදුන්නේය. පසුව ඒ සියලු දෙනාගේම අදහස් අසා සිට සන්සුන්ව අදහස් දැක්වීමට සජිත් පියවර ගත්තේය.

සජිත් තීන්දුවක් ගනී!

‘මම තීරණ ගන්නේ හිතළුවලටවත් ආවේගවලටවත් නෙවෙයි. මම තීන්දු තීරණ ගන්නේ හිතලා. මම අවුරුදු 10ක් මේ රටේ අගමැති කෙනෙක්ගෙ පුතා විදියට හිටියා. තව අවුරුදු දෙකහමාරක් ජනාධිපතිවරයෙක්ගෙ පුතා විදියට හිටියා. අවුරුදු 22ක් දේශපාලනය කළා. මම මගේ තාත්තට දෝෂාභියෝගය ඉදිරිපත් වෙච්ච වෙලාවෙ එතුමා කටයුතු කරපු විදිය දැක්කා. තාත්තා මියගියාට පස්සේ සිද්ධ වෙච්ච දේවල් මම දැක්කා. මට මේ දේශපාලනයෙ හොඳට අත්දැකීම් තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාලට කියන්නේ මම තීන්දු ගන්නේ පක්ෂය ගැනවත්, දේශපාලනය ගැනවත්, මම ගැන හිතලාවත් නෙවෙයි. රටට හානියක් වෙනවද කියන දේ ගැන හිතලයි. මම ගන්න යන්නෙ මුළු රටම මේ වෙලාවෙ ඉල්ලන තීන්දුවක්. ඒ නිසා මම ගන්න තීන්දුවට ඔබතුමාලා එකඟ වෙයි කියලා මම හිතනවා. මම තීන්දු කරලා තියෙනවා මුළු රටම ඉල්ලන විදියට විපක්ෂය බෙදෙන්නෙ නැතුව එකතු වෙලා අපේක්ෂකයෙක් දිනවන්න කියන ඉල්ලීමට ඉඩ දෙන්න. ඒ හින්දා මම කැපකිරීමක් කරලා ජනාධිපති අපේක්ෂකත්වය ඩලස්ට ලබාදෙන්න තීන්දු කළා. ඒ අය සූදානම් අගමැතිකම අපට දීලා ඉදිරියේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න. එළියෙ අරගල කරන තරුණයොත්, මුළු රටේම ජනතාවත්, ජාත්‍යන්තරයත් කියන්නේ මේ වෙලාවෙ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවලා මේ ප්‍රශ්නෙ විසඳගන්න කියලයි. ඒ හින්දා මම අඩියක් පසුපසට අරගෙන අපේ තියෙන දේශපාලන බලාපොරොත්තු පැත්තකින් තියලා රට වෙනුවෙන් මේ තීන්දුව ගන්න තීරණය කළා….’ යනුවෙන් සජිත් ඉතා සංවේදීව කියද්දී සියලු දෙනාම එක හඬින් දෑතම ඔසවා කියා සිටියේ සජිත් ගන්නා තීන්දුවට පක්ෂයක් වශයෙන් තමන්ද එකඟ වනවා යැයි කියාය.

සජිත් යළි ඩලස් හමුවෙයි! තීන්දුව ප්‍රකාශයට පත්කරයි!

සජබ මන්ත්‍රී කණ්ඩායම රැස්වී මෙම තීන්දුව ගැනීමත් සමග සජිත් නැවත වතාවක් ඩලස් මුණගැසීම සඳහා ඒ අවස්ථාවේදීම පියවර ගත්තේය. ඒ අනුව ඩලස් හමුවූ සජිත් ඔහුට දැනුම් දී සිටියේ සියලු දෙනාම තමන්ට ජනාධිපති සටනින් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීම් කරන බැවින් ඊට හිස නමා නාමයෝජනා ලබා නොදීමට තමන් තීරණය කළ බවකි.

‘මගේ මන්ත්‍රී කණ්ඩායම අද හවස රැස්වෙලා නාමයෝජනා සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා. ඒකෙදි බොහෝ දෙනෙක් මට කිව්වා මේ වෙලාවෙ අපි කැපකිරීමක් කරලා රට ගැන හිතලා ජනාධිපති සටන සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනෙ කියලා. ඔබතුමාගෙ පැත්තෙනුත් ඒ ඉල්ලීම මට දිගටම ඉදිරිපත් වුණා. බොහෝ දෙනෙක් කියන්නේ මේ වෙලාවෙ රට සන්සුන් කරන්න ගන්න පුළුවන් තීන්දුව මේක කියලයි. ඉතින් මම තීන්දු කළා ජනාධිපති සටනෙන් ඉවත් වෙලා ඔබතුමාට ඒකට අවස්ථාව ලබාදෙන්න. මම ඒ කැපකිරීම කළේ රට ගැන හිතලා. පාර්ලිමේන්තුවෙන් පිටත සිදුවෙන අරගලය ගැන හිතලා. මට මේ තනතුරු කියන දේවල් එච්චර ලොකු දේවල් නෙවෙයි….’ යනුවෙන් සජිත් කියද්දී ඩලස්, සජිත්ගේ දෑත අල්ලාගෙන ඉතා හැඟීම්බරව අදහස් දක්වනු දැකගත හැකි විය.

සජිත් හිටපු ස්ථාවරය!

කෙසේ වෙතත් මුලදී සජිත්ගේ තර්කය වී තිබුණේ පාර්ලිමේන්තුවේ ජනාධිපති සටනේදී රනිල්, ඩලස්, සජිත් තුන්කොන් සටනකට ඉදිරිපත් වූයේ නම් කිසිවකුටත් බහුතරය ගත නොහැකිව තිදෙනාටම කරට කර ඡන්දය බෙදීයාමේ පසුබිමක් මතුවනු ඇතැයි කියාය. එවිට දෙවැනි මනාපය ගණනය කිරීමේ තත්ත්වයක් මතුවනු ඇති බවත්, එහිදී විපක්ෂයට වාසිසහගත තත්ත්වයක් මතුවනු ඇති බවත් සජිත්ගේ තර්කය විය. නමුත් සියලු දෙනාම තමන්ගෙන් ඡන්ද සටනෙන් ඉවත් වී මෙය දෙකොන් සටනක් බවට පත්කරන ලෙස ඉල්ලා සිටි බැවින් තමන් ඒ කැපකිරීම සිදුකිරීමට සූදානම් බව සජිත් එහිදී ඩලස්ට පෙන්වා දුන්නේය.

පොහොට්ටුව කලබල වෙයි! මෙහෙයුම් 4ක් දියත් වෙයි!

මතුවූ මෙම තත්ත්වයත් සමග රනිල්ගේ පාර්ශ්වයත්, පොහොට්ටුව පාර්ශ්වයත් පත්වූයේ මහත් කලබලයකටය. රනිල්ට එරෙහිව සජිත් සහ ඩලස් යන දෙදෙනාම විපක්ෂයෙන් තරග කරන වාතාවරණයක් යටතේ රනිල්ට පැහැදිලි බහුතරයක් ලබාගත හැකි තත්ත්වයක් පැනනැගී තිබුණද කිසිවකුත් නොසිතූ ලෙස සජිත් තරගයෙන් ඉවත් වී ඩලස්ට සහාය පළකිරීමත් සමග එම තත්ත්වය සහමුලින් වෙනස් වී ගිය ආකාරයක් ඔවුන්ට දැකගත හැකි විය. ඒ අනුව පිටිය තමන්ට වාසිසහගත ලෙස සකසා ගැනීම සඳහා රනිල්ගේ පාර්ශ්වයෙන් මෙහෙයුම් හතරක් ඒ මොහොතේ සිටම ක්‍රියාත්මක වීම ආරම්භ විය. ඉන් එක් මෙහෙයුමක් ආරම්භ වූයේ අරගලය පැවැත්වෙන ජනාධිපති ලේකම් කාර්යාලයට නුදුරු ෂැංග්‍රිලා හෝටලයේ සුපිරි කාමරයක සිටය. ඊට නායකත්වය දුන්නේ හරීන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමකි. දෙවැනි මෙහෙයුම ආරම්භ වූයේ බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේදීය. ඊට නායකත්වය දුන්නේ බැසිල් රාජපක්ෂය. තුන්වැනි මෙහෙයුම ආරම්භ වූයේ එජාප සභාපතිවරයා වූ වජිර අබේවර්ධනගේ නිවෙසේය. සිවුවැනි මෙහෙයුම ආරම්භ වූයේ සිංගප්පූරුවේ සිටය. එම මෙහෙයුමට නායකත්වය දුන්නේ දැනට සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. මීට අමතරව රනිල්ද තමන්ගේ පාර්ශ්වයට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නම්මවා ගැනීම සඳහා වෙනමම මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියේය.

බැසිල් ලොකුම වැඩ කොටස කරයි!

මෙහිදී භාරදූරම රාජකාරිය භාරවී තිබුණේ බැසිල්ටය. මන්ද යත් රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ජනාධිපති සටනට ඉදිරිපත් වන නිසා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ සහාය රනිල්ට ලබාදීම බැසිල්ට භාරවී තිබුණු රාජකාරිය විය. එය බොහෝ අභියෝගාත්මක එකක් බව පළමු වටයේදීම පෙනී ගියේ පොහොට්ටුවේම සාමාජිකයකුව සිටින ඩලස් අලහප්පෙරුම රනිල්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත්ව සිටි නිසාය. එමෙන්ම ඩලස් සමග පොහොට්ටුවෙන් තරග වැදුණු සෙසු පක්ෂවල බොහෝ පිරිසක් එක්ව සිටීමත්, පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ම ඩලස්ට සහාය පළ කරමින් විටින් විට ප්‍රකාශ නිකුත් කර තිබීමත් නිසා බැසිල් ඉදිරියේ තිබුණේ ඉතා බරපතළ ගැටලුවකි. ඒ අනුව එම අභියෝගය භාරගත් බැසිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එක එක්කෙනා පක්ෂ මූලස්ථානයට කැඳවා ඔවුන් සමග සාකච්ඡා කරමින්, ඔවුන්ට ඇති ගැටලු විමසමින්, ඔවුන්ගේ සහාය නැවත වතාවක් රනිල්ට ලබාගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගත්තේය. එමෙන්ම ඩලස් ජනාධිපති වුවහොත් සජිත් අගමැතිවරයා බවට පත්වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් විපක්ෂය පාර්ශ්වයෙන් නිකුත් වී තිබීමත් බැසිල් සිය වාසියට හරවා ගත්තේය. එම ප්‍රකාශයත් සමග කොයි පැත්තට ඡන්දය දෙන්නේද යනුවෙන් දෙගිඩියාවක සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරු රැසක්ම සජිත්ව පෙන්වා යළිත් තමන්ගේ පැත්තට නම්මවා ගැනීමට බැසිල් සමත් විය.

දෙවන මෙහෙයුම ෂැංග්‍රිලා හෝටලයේ සිට!

ෂැංග්‍රිලා හෝලයේ සිට මෙහෙයුම දියත් කළේ හරීන්ය. හරීන් කළේ සමගි ජන බලවේගයෙන් රනිල්ට ගත හැකි යැයි සැක සිතෙන සියලු දෙනාටම දිගින් දිගටම ඇමතුම් ලබාදෙමින් ඔවුන්ගේ ඡන්දය රනිල් වෙත ලබාගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමය.

තුන්වැනි එක සිංගප්පූරුවේ සිට ගෝඨාගෙන්!

සිංගප්පූරුවේ සිට මෙහෙයුම දියත් කළ ගෝඨාභය කළේ තමන් සමග දේශපාලනය ආරම්භ කර පාර්ලිමේන්තුවට පැමිණි වියත් මග කණ්ඩායමට කෙළින්ම කතා කිරීමය. ඒ වන විටත් වියත් මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ සිටි නාලක ගොඩහේවා, චන්න ජයසුමන වැනි මන්ත්‍රීවරුන් ඩලස්ට සහාය පළ කරන බව ඍජුවම ප්‍රකාශ කර තිබිණ. ඒ අනුව ගෝඨා කළේ ඒ සියලු දෙනාටම පෞද්ගලිකවම කතා කොට රනිල්ට ඡන්දය ලබාදෙන ලෙස දැනුම් දී සිටීමය. සිංගප්පූරුවේ සිට මෙසේ පැමිණි ගෝඨාභයගේ ඇමතුමත් සමග වියත් මගේ කිහිප දෙනකුම සිය ස්ථාවරය වෙනස් කරගත් බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

වජිරත් ගෙදර සිට මෙහෙයුමක!

වජිර අබේවර්ධන සිය නිවෙසේ පිහිටි මෙහෙයුම් කාර්යාලයේ සිට සිදු කළේ මේ සියලු තැන් ඒකරාශී කරගනිමින්, ඒවා සම්බන්ධීකරණය කරමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය අංක ගණන පසු කර යෑමට සියලු මන්ත්‍රීවරුන් ප්‍රමාණය ගොනුකර ගැනීමය. එමෙන්ම පැයෙන් පැයට එම ප්‍රමාණය සියලු තැන් වෙත දැනුම් දීමටද වජිර පියවර ගෙන තිබිණි.

ප්‍රසන්නත් රනිල් ළගට කට්ටිය අරන් එයි!

මේ සියල්ලටම අමතරව ප්‍රසන්න රණතුංගද රනිල්ගේ ජයග්‍රහණයට සක්‍රීය දායකත්වයක් සපයමින් සියලු පළාත් නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් වෙන් වෙන් වශයෙන් රනිල් හමුවීමට සලස්වා ඔවුන්ට ඇති ප්‍රශ්න සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දුන්නේය. මෙහිදී පසුපෙළ මන්ත්‍රීවරුන් බොහොමයක්ම රනිල්ට දැනුම්දී තිබුණේ ඉකුත් මැයි 09 වැනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ සිය නිවාස නැවත ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය බවකි. එමෙන්ම මේ වන විට නිවාස නොමැති හෙයින් තමන්ට කොළඹින් ස්ථිර නිවාස අවශ්‍ය බවද මෙම මන්ත්‍රීවරු රනිල්ට දැනුම්දී සිටියහ. රනිල් ඔවුන්ට ඒ සියල්ල ලබාදෙන බවට එහිදී සහතිකයක් ලබාදීම විශේෂ සිදුවීමක් විය.

පටන් ගත්තේ 118කින්! අන්තිමට 100ට බහී!

ඒ අනුව පොහොට්ටුව ඡන්ද සටන ආරම්භ කළේම 118ක බහුතරයක් මුල් අදියරේම අතේ තබාගෙනය. සියලු පොහොට්ටු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වෙන වෙනම කළ විමර්ශනයන්ගෙන් අනතුරුව මෙම මන්ත්‍රී කණ්ඩායම රනිල්ට ඡන්දය ලබාදීමට සූදානම් බව පොහොට්ටු පාර්ශ්වයේ අදහස විය. නමුත් වරෙක එය හිටිහැටියේම 104 දක්වා පහත වැටිණ. තවත් අවස්ථාවක එය 100 දක්වා පහත වැටිණ. නමුත් ප්‍රචාරක උපක්‍රමයක් ලෙස ඔවුන් කුමන අවස්ථාවකදීවත් එම ප්‍රමාණය එළියට දැමීමට කටයුතු කළේ නැත. ඒ වෙනුවට ඔවුන් දිගින් දිගටම පෙන්වමින් ගියේ තම පාර්ශ්වයට මන්ත්‍රීවරු 118ක 120ක සහයෝගය පවතිනවා යැයි කියාය.

ජොනීලත් සටනට බහී!

නමුත් පෙර කී ආකාරයට එක් අවස්ථාවක ඡන්ද ප්‍රමාණය 100 දක්වා පහත වැටීමත් සමග බැසිල්, ජොන්ස්ටන්, රෝහිත අබේවර්ධන වැනි පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඡන්ද සටන අතට ගෙන අවශ්‍ය මන්ත්‍රීවරුන් ප්‍රමාණය සොයාගැනීමේ මෙහෙයුමට එක්වූහ. එක් අවස්ථාවක මෙම මන්ත්‍රීවරු ඩලස්ට ඡන්දය භාවිත කරනු ඇති බවට සැක සහිත මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ගෙන මහින්ද මුණගැසීමට පවා ගියහ. ඒ අනුව මහින්ද ඒ සියලු මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව කතා කිරීමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි.

නාමලුත් එක්වෙයි! මන්ත්‍රීවරු විරෝධය පළ කරයි!

තවත් අවස්ථාවක පොහොට්ටුවේ මන්ත්‍රී සංඛ්‍යාව පිළිබඳ බරපතළ ගැටලුවක් මතුවූ විට නාමල් මැදිහත්ව ඩලස්ට අපූරු යෝජනාවක් සිදුකිරීමටද පියවර ගෙන තිබිණි. එහිදී නාමල් කියා සිටියේ රනිල් නියත වශයෙන්ම ජනාධිපතිවරයා බවට පත්වන බවත්, ඉන් අනතුරුව 19 වැනි සංශෝධනය බලාත්මක කිරීම වැනි දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකරන බවත්, එවිට අගමැතිවරයා සතු බලතල වැඩිවන බැවින් අගමැති ධුරය ඩලස්ට ලබාදිය හැකි බවත්ය. නමුත් ඩලස් කිසිසේත්ම නාමල් ගෙන ආ මෙම යෝජනාවට අනුකුලතාවක් දැක්වූයේ නැත. ඒ අනුව නාමල්ද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට රනිල්ට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමතුම් ලබාදෙන්නට පටන් ගත්තත් ඊට වැඩි දුරක් යෑමට නොහැකි වුණේ මන්ත්‍රීවරුන් රැසක්ම නාමල්ට විරෝධය පාමින් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට දුරකතන ඇමතුම් ලබාදීමත් සමගය. ඔවුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට කතා කරමින් කියා තිබුණේ නාමල් ලවා මන්ත්‍රීවරුන්ට කතා කරවීම නවත්වන ලෙසත්, මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධයක් පළකරන බවත්ය. ඒ අනුව නාමල්ගේ ඡන්ද එකතු කරන මෙහෙයුම එතැනින්ම අවසන් විය.

රනිල්-හරීන් වෙනම් ගේමක!

මෙහිදී පොහොට්ටුවේ ප්‍රබලයන් විසින් මේ අවස්ථාවේ යෝජනාවක් ගෙන එමින් කියා තිබුණේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම පිළිබඳ යම් ගැටලුවක් ඇති බැවින් විපක්ෂයෙන් මන්ත්‍රීවරු එක් කරගැනීමේ මෙහෙයුම තවත් දැඩි කළ යුතු යැයි කියාය. ඒ අනුව ඊට මූලිකත්වය ගත්තේ රනිලුත්, හරීනුත්ය. ඔවුන් දෙදෙනාම පෞද්ගලිකවම සජබ මන්ත්‍රීවරුන්ටත්, විපක්ෂයේ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන්ටත් කතා කරමින් ඡන්දය ලබාදෙන ලෙස කේවල් කරනු දැකගත හැකි විය. එහිදී රනිලුත්, හරීනුත් සජබ මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන් කාරණය වූයේ මෙය එජාපය ඇතුළේ ප්‍රශ්නයක් බවත්, එය සාකච්ඡා කොට විසඳාගත හැකි එකක් බවත්ය.

ගෝඨා වියත් මගට කතා කරයි!

එමෙන්ම ඡන්ද ප්‍රමාණය තවදුරටත් පහත බසිද්දී හිටපු ජනාධිපතිවරයා වියත් මග මන්ත්‍රීවරුන්ට අමතරව පොහොට්ටුවේ තවත් මන්ත්‍රී කණ්ඩායමකටද සිංගප්පූරුවේ සිට කතා කරනු දැකගත හැකි විය. ඒ, එක්තරා නමකින් හඳුන්වන පොහොට්ටුවේ සිටින පිරිසක් සමගය. (සදාචාරාත්මක හේතු මත එම නම මෙහි සඳහන් නොකරමු) ගෝඨාභයගෙන් ලද එම ඇමතුම් හේතුවෙන් ඩලස්ට ඡන්දය ලබාදීමට සිටි සැලකිය යුතු ප්‍රමාණයක් නැවත සිය තීරණය වෙනස් කරගෙන රනිල්ට ඡන්දය ලබාදීමට එකඟ වූ ආකාරයක්ද දැකගත හැකි විය.

වැඩේ ඉවර කරද්දි පාන්දර 3ත් පහුවෙයි!

මේ ආකාරයට පොහොට්ටුවේ පමණක් නොව විපක්ෂයේ සියලු පැති ආවරණය කරමින් ගෙන ගිය මෙහෙයුම් හේතුවෙන් ඡන්දය පවත්වන දිනට පෙර දිනය වූ අඟහරුවාදා රාත්‍රිය වන විට රහස් තොරතුරු වාර්තා මගින් රනිල්ට 125කට අධික මන්ත්‍රීවරු (125+) ප්‍රමාණයක් සිටින බව තහවුරු කොට තිබිණි. එම වාර්තා සමග ඔවුන් සන්තකයේ තිබූ වාර්තාද සමාන වීමත් සමග බදාදා අලුයම 3ට පමණ එම මෙහෙයුම් ජයග්‍රාහීව අවසන් කිරීමට පොහොට්ටුවේත්, එජාපයේත් නායකයෝ පියවර ගත්හ. ඒ අනුව ෂැංග්‍රිලා හෝටලයේ පිහිටි මෙහෙයුම් කාර්යාලයේත්, වජිරගේ නිවෙසේ පිහිටි මෙහෙයුම් කාර්යාලයේත් වැඩ අවසන් කරන විට අලුයම 3ද පසුවී තිබිණ.

ඩලස්ලාට 128ක්!

ඩලස් හා සජිත්ගේ කඳවුරුවල තත්ත්වයද මීට වෙනස් නොවීය. ඩලස් හා සජිත් අතර රොස්මිඩ් පෙදෙසේ පැවැති සාකච්ඡාවේදී ඉලක්කම් පිළිබඳ සාකච්ඡා කරද්දී දෙපාර්ශ්වයම එකතු වූ විට එම ප්‍රමාණය 128 ඉක්මවා යනු ඇති බව ඔවුන්ගේ ගණන් හැදීම විය. එම 128 තුළ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද, පොහොට්ටුවේ සහාය දෙතැයි අපේක්ෂිත මන්ත්‍රීවරුන්ගේ නම්ද ඇතුළත්ව තිබිණි. නමුත් රනිල්ගේ පාර්ශ්වයෙන් සහ පොහොට්ටුවේ පාර්ශ්වයෙන් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග මෙම ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත බසින ආකාරයක් පෙන්නුම් කළද එය නිසි අයුරින් හඳුනාගැනීමේ අවස්ථාවක් ඔවුන්ට හිමි නොවීය.

දෙමළ සන්ධානය දෙකට බෙදෙයි!

මෙහිදී දෙමළ ජාතික සන්ධානය තුළ මතුවූ අභ්‍යන්තර ගැටලුව විශේෂ සිදුවීමක් විය. ඡන්ද සටන ආරම්භයේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ප්‍රමාණය වූ 10 දෙනා (වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් හැර) බෙදී සිටියේ 9ට 1ක් ලෙසය. උතුරේ ව්‍යාපාරික කටයුතුවලටද සම්බන්ධ එක් මන්ත්‍රීවරයකු ආරම්භයේ සිටම රනිල්ට පක්ෂපාතී ස්ථාවරයක සිටි බැවින් ඔහු රනිල්ට ඡන්දය භාවිත කරන බව ආරම්භයේදීම සඳහන් කොට තිබිණ. ඒ අනුව අනෙක් මන්ත්‍රීවරු 9 දෙනා අඟහරුවාදා සවස් කාලයේදී කොළඹ පිහිටි පක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවෙසට රැස්වූයේ ගත යුතු දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. ඒ අවස්ථාව වන විටත් රනිල්ගේත්, ඩලස්ගේත් ඡන්ද සටන කරට කර උණුසුම් තත්ත්වයක තිබුණු බැවින් දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද 10 ඉතා තීරණාත්මක එකක් බවට පත්ව තිබිණි.

රනිල් ඉන්දියාවට කතා කරයි! ඉන්දියාව උත්තර දෙයි!

ඒ සමගම දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කටකතාවකින් කියැවුණේ ඉන්දියාව රනිල් සමග අමනාපයෙන් පසුවන බවත්, ඔවුන්ට රනිල් සමග විශාල ගැටලුවක් පවතින බවත්ය. රනිල් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දෙමළ ජාතික සන්ධානයට මේ ගිය කටකතාවද විශාල වශයෙන් බලපෑමක් කළේය. මන්ද යත් දෙමළ ජාතික සන්ධානය දේශපාලන වශයෙන් යම් යම් දැඩි තීන්දු තීරණ ගන්නා අවස්ථාවලදී ඉන්දියාව එම තීන්දු පසුපස සිටීම ඊට ප්‍රධාන හේතුවය. ඒ අනුව මෙම කටකතාව තමන්ට අවාසිදායක එකක් බව වහා වටහා ගත් රනිල් ඒ මොහොතේම එය පරීක්ෂා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාට දුරකතන ඇමතුමක් ලබාදුන් බවක්ද නිල නොවන ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. ඒ වන විටත් ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවල ඉල්ලීමකට අනුව ඉන්දියාව සර්වපාක්ෂික සමුළුවක්ද කැඳවා තිබූ බැවින් රනිල් මුලින්ම ඒ පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට මෙම කරුණ පිළිබඳවද හීන්සීරුවේ විමසා සිටීමට පියවර ගත්තේය. ඒ අනුව රනිල්ගේ උත්සාහය කුමක්ද යන්න වටහා ගත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වහාම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට කතාකොට රනිල් මුණගැසී සාකච්ඡා කරන ලෙස දැනුම් දී සිටියේය. එම උපක්‍රමය අනුව ඉන්දීය මහකොමසාරිස්වරයා රනිල් මුණගැසී ලංකාවේ දේශපාලන කරුණු සම්බන්ධයෙන් ඉන්දීය රජය මැදිහත්වීමක් නොකරන බව දැනුම්දී සිටීමට පියවර ගත්තේය.

සජිත්-ඩලස් දෙන්නාත් එක්වෙයි!

දෙමළ ජාතික සන්ධානයේ සාකච්ඡාව පැවැතියේ මෙවැනි පසුබිමක් යටතේය. එහිදී ඔවුන් එම සාකච්ඡාව සඳහා තවත් විශේෂ පුද්ගලයන් දෙදෙනකුටද ආරාධනා කිරිමට පියවර ගෙන තිබිණ. ඒ, ඩලස් අලහප්පෙරුම සහ සජිත් ප්‍රේමදාසය. ඔවුන් දෙදෙනාද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි බැවින් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට ඇති දේශපාලන ගැටලු පිළිබඳ ඔවුන් සමග දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී උතුරු නැගෙනහිර දේශපාලන ප්‍රශ්නය පිළිබඳව ඩලසුත්, සජිතුත් දරන්නේ එකම මතයක් බව දෙමළ ජාතික සන්ධානයට වැටහී ගියේය. දෙදෙනාම එම ගැටලුව විසඳීමට සූදානම් බවද ඔවුනට වැටහිණ. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ඩලස්ට සහාය දැක්වීමට තීරණය කළ අතර එය සංකේතවත් කිරීම සඳහා ඩලස් හා සජිත් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිට එය මාධ්‍යයට නිකුත් කිරීමටද ඔව්හු පියවර ගත්හ.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට කතා කරයි!

නමුත් මෙහිදී යම් ගැටලුවක් මතුවූයේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ එම්.ඒ. සුමන්තිරන් ඩලස්ට සහාය ලබාදීම සඳහා ගත් තීන්දුව පසුපස ඉන්දියාව සිටින බවට යම් ඉඟියක් දෙමළ සන්ධානයේම විවිධ පාර්ශ්වවලට ලබාදීම හරහාය. ඒ අනුව එම පාර්ශ්වයන් කළේ වහාම මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දුරකතන ඇමතුම් ලබාදෙමින් එම කතාවේ ඇත්ත නැත්ත විමසා බැලීමය. එහිදී ඔවුන්ට සුමන්තිරන් ගෙන ගිය ප්‍රචාරය වැරැදි බවත්, ඉන්දියාව එවැනි මැදිහත් වීමක් සිදුකොට නැති බවත් තහවුරු විය. ඒ අනුව සුමන්තිරන්ට පාඩමක් ඉගැන්වීම සඳහා දෙමළ සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනකුම පක්ෂයේ තීන්දුවට පිටුපා යමින් රනිල්ට ඡන්දය ලබාදීමට තීන්දු කිරීම විශේෂ සිදුවීමක් විය.

අතාවුල්ලාත් වෙනස් වෙයි!

මීට අමතරව ඡන්ද සටන ආරම්භයේදී ඩලස් සජිත් පිල සමග සිටි එම්.එල්.එම්. අතාවුල්ලාත්, ජීවන් තොන්ඩමනුත් අවසන් මොහොතේදී රනිල්ට ඡන්දය ලබාදෙන බව ප්‍රකාශයට පත් කළහ. අතාවුල්ලා නියෝජනය කළේ විමල් වීරවංශ සමග සිටි පක්ෂ දහයේ කණ්ඩායමය. මුලින් ඔහුද ඩලස්ට පක්ෂ ස්ථාවරයක සිටියද පසුව රනිල් පිලේ මෙහෙයුමකින් ඔහුගේ ඡන්දය රනිල්ට ලබාගැනීමට එම පාර්ශ්වය සමත්ව තිබිණ.

තොණ්ඩමන් එවපු පණිවුඩය!

තොන්ඩමන් මුලදී ප්‍රකාශ කොට තිබුණේ ඩලස්-සජිත් වෙන වෙනම තරගවදින්නේ නම් සිය පක්ෂයේ ඡන්දය රනිල්ට ලබාදෙන බවත්, ඩලස්-සජිත් එකතු වන්නේ නම් සිය පක්ෂයේ ඡන්දය ඩලස්ට ලබාදෙන බවත්ය. ඒ අනුව ජීවන් තොන්ඩමන්ගේ පක්ෂයේ ඡන්ද දෙක මුලින් ඩලස්ට පක්ෂව පැවතියද ඡන්දයට පැය කිහිපයක් තබා එම පාර්ශ්වයේ සහායද රනිල්ට හිමිවන බවත් ප්‍රකාශ විය. නමුත් ඒ වන විටත් රනිල් හා ඩලස් අතර කරට කරට සටනක් පවතිනු ඇති බව දෙපාර්ශ්වයේම මතය වී තිබිණ.

සජබෙ 14ක් ගියාද?

කෙසේ වෙතත් පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී අවසන් ප්‍රතිඵලය ලෙස සටහන් වූයේ රනිල්ට ඡන්ද 134කුත්, ඩලස්ට ඡන්ද 82කුත්, අනුරට ඡන්ද 3කුත්, අවලංගු ඡන්ද 4කුත් වශයෙනි. ඒ අනුව ඡන්ද බෙදී යෑම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කටකතා පැතිර යන ආකාරයක් දැකගත හැකිය. ඇතැමුන් සඳහන් කරන්නේ සජබ මන්ත්‍රීවරුන් 14 දෙනකු රනිල්ට පක්ෂව ඡන්දය භාවිත කළා යැයි කියාය. තවත් සමහරු එය 9ක් බවද කියති. නමුත් එහි කිසිදු සත්‍යතාවක් නොමැත්තේ ඡන්ද ජයග්‍රහණයෙන් අනතුරුව පොහොට්ටු කාර්යාලය මගින් සකස් කර තිබූ වාර්තාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 125ක් රනිල්ට ඡන්දය භාවිත කර ඇති බව තහවුරු කොට තිබීම නිසාය.

ඩලස්ට පොහොට්ටුවෙන් 22ක්!

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 145ක් සිටින අතර, එම වාර්තාවට අනුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 20ක් ඩලස්ට ඡන්දය භාවිත කර ඇති බව දැකගැනීමට පුළුවන. නමුත් ඩලස්ගේ කඳවුරෙන් කියැවුණේ එම සංඛ්‍යාව 22ක් බවකි. ඒ අනුව රනිල්ට ඡන්ද 134ක් ලබාගැනීම සඳහා වෙනත් පක්ෂවලින් ලැබී ඇත්තේ ඡන්ද 9ක් පමණි. එම ඡන්ද 9ට දෙමළ ජාතික සන්ධානයේ කොටසක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්ද, සජිත්ට සහාය දෙන බව කී අනුර ප්‍රියදර්ශන යාපා සමග සිටි මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් කොටසක්ද ඇතුළත්ය. ඒ අනුව බලන විට සජබෙන් රනිල්ට ගොස් ඇත්තේ උපරිමයෙන් ඡන්ද 2ක් හෝ 3ක් බව පැහැදිලිවම දැකගැනීමට හැකිය. මේ කිහිප දෙනා පිළිබඳවද මේ වන විට සජබය ඇතුළේ යම් කියවීමක් තිබේ. එම ආරංචි මාර්ගවලින් කියන්නේ සජබෙ තනතුරක්ද දරන ප්‍රබලයකුද පක්ෂ මතයට පිටින් ගොස් ඡන්දය භාවිත කර ඇති බවකි.

ධම්මික තීන්දුවක් ගනී!

මේ අතර රනිල් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට කටයුතු කිරීමත් සමග මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් අමාත්‍යවරයකු වූ ධම්මික පෙරේරා මහතාද විශේෂ තීන්දුවක් ගෙන තිබේ. ඒ, සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට ආයුබෝවන් කීමටය. ධම්මික යනු ව්‍යාපාරිකයකු වුවත් ඔහුගේ ව්‍යාපාරික දැනුම හේතුකොට ගෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධම්මිකව බැසිල්ගෙන් හිස්වූ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය ලබාදුන්නේය. නමුත් අමාත්‍ය ධුරය භාරගෙන සතියක් යෑමට මත්තෙන් එවක අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල්ට ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ ධම්මික, රනිල් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. එපමණක් නොව තමන් සමග විවාදයකට එන ලෙසට ධම්මික රනිල්ට අභියෝගයක්ද කළේය. නමුත් ගෝඨාභයගේ ඉවත් වීමෙන් පසු රනිල් වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත්වීමත් සමග ධම්මිකද තීන්දු කළේ දේශපාලනයෙන් ඉවත් වීමටය.

ධම්මික රනිල්වත් හමුවෙයි!

ඒ අනුව වහාම මේ බව පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් සැලකෙන බැසිල්ට දැනුම් දුන් ධම්මික තමන් සිය මන්ත්‍රී ධුරය යළි පොහොට්ටුවට භාරකරන බවද දැනුම් දුන්නේය. රනිල් වැඩබලන ජනාධිපති ධුරය භාරගත් සැණින් ධම්මිකට ලබාදී තිබූ ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක්ම විශේෂ ගැසට් පත්‍රයකින් නැවතත් තමා යටතට ගැනීමට පියවර ගැනීමත් සමග තවදුරටත් දේශපාලනයේ සිටීම පලක් නොවන කාරණයක් බව ධම්මිකට වැටහිණ. ඒ අනුව ධම්මික කළේ බැසිල්ට ඒ පිළිබඳ දැනුම්දී රනිල්වද මුණගැසී ඔහුටද සිය තීන්දුව දැනුම්දී සිටීමය. නමුත් එහිදී රනිල් ධම්මිකට කියා සිටියේ ඉල්ලා අස්වීමට අවශ්‍ය නැති බවත්, තවදුරටත් අමාත්‍ය ධුරයේ කටයුතු කරගෙන යන ලෙසටත්ය. කෙසේ වෙතත් මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තමන් තීන්දුවක් ගෙන ඇති බව රනිල්ට කී ධම්මික, එළියේ සිට රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කළ හැකි සෑම දෙයක්ම සිදුකරන බවට රනිල්ට පොරොන්දුවක්ද දුන්නේය.

ධම්මිකගේ පුටුවට එන්නේ බැසිල්ද?

ඒ අනුව දැන් ගැටලුව වී ඇත්තේ ධම්මිකගෙන් හිස්වන පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කවුරුන් පැමිණෙන්නේද යන්නයි. පොහොට්ටුවේ බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ බැසිල්ගෙන් හිස්වූ මෙම මන්ත්‍රී ධුරයට බැසිල්ම යළි පත්විය යුතු බවය. එමෙන්ම බොහොමයක් මන්ත්‍රීවරු පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් මේ අවස්ථාවේදී බැසිල් පාර්ලිමේන්තුවේ රැඳී සිටියේ නම් ඔහුට අගමැති ධුරය පවා ලබාගත හැකිව තිබූ බවකි. එසේත් නොමැති නම් පොහොට්ටුවේ බහුතරය තවමත් පාර්ලිමේන්තුවේ පවතින නිසා ජනාධිපති ඡන්ද විමසීමේදී බැසිල්ට ජනාධිපති ධුරය පවා ලබාගත හැකිව තිබූ බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව බැසිල් ධම්මිකගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යළි පත්වනු ඇතිදැයි නිසැක වශයෙන්ම ලබන සතියේදී දැකබලා ගත හැකිය.

ගෝඨාට සිංගප්පූරුවෙන් යන්න කියයි!

මේ අතර සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාද රනිල් ජයග්‍රහණය කිරීම සඳහා දියත් කළ මෙහෙයුමෙන් අනතුරුව මේ වන විට තවත් මෙහෙයුමක් දියත් කර ඇති බව ආරංචිය. ඒ, ආරක්ෂිතව සිංගප්පූරුවෙන් පිටවීමේ මෙහෙයුමය. මේ වන විටත් සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපතිවරයාට පසුගිය සතියේදී සිංගප්පූරු රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ෂන්මුගම් මහතා දැනුම්දී සිටියේ දින 15ක් ඇතුළත සිංගප්පූරුවෙන් පිටවිය යුතු බවකි. තාවකාලික වීසා බලපත්‍රයක් පමණක් ගෝඨා වෙත නිකුත් කර ඇති බවද ඉන් කියැවිණි.

ඉන්දියාව යළි බෑ කියයි!

ඒ අනුව මෙම පණිවුඩය ලද වහා ගෝඨාභය නැවත වතාවක් උත්සාහ කළේ ඉන්දියාවේ දින කිහිපයක් රැඳී සිටීම සඳහා ඉන්දීය බලධාරීන්ගෙන් අවසර ඉල්ලා සීටීමය. නමුත් ගෝඨාභයට මේ අවස්ථාවේදීත් ලැබුණේ ලංකාවෙන් පිටව ඒම සඳහා ඉන්දීය බලධාරීන්ගෙන් අවසරය ඉල්ලා සිටීමේදී ඉන්දීය බලධාරීන් දුන් පිළිතුරමය. නොඑසේ නම් ඉන්දියාවට ඇතුළු වීමට ඉඩ ලබාදීමට නොහැකිය යන්නය.

ගෝඨා ළගදීම ලංකාවට! මිරිහානේ ගෙදර සූදානම්!

ඉන්දියාවෙන් ලද මේ අනපේක්ෂිත පිළිතුරත් සමග ගෝඨාභය අතරමැදියකුට කතාකොට සිංගප්පූරුවෙන් පිටව යෑමට සිදුව ඇති බවත්, වෙනත් රටකට යෑමට නොහැකිව ඇති නිසා ලංකාවට යළි පැමිණීමට සූදානමින් සිටින බවත්, එම නිසා තමන්ට හිමි නිල ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කළේය. එම අතරමැදියා මේ සම්බන්ධයෙන් රනිල් සමග සාකච්ඡා කොට ඇති අතර, රනිල්ද එහිදී ගෝඨාට අවශ්‍ය සියලු ආරක්ෂාවත්, ඔහු රැඳී සිටීමට නියමිත මිරිහානේ නිවෙසට අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාවත් ලබාදීමට එකඟතාව පළකොට ඇත. මේ පිළිතුරෙන් පසු ගෝඨාභය පසුගිය සතියේදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ගොස් නැවත වතාවක් තම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගැනීමටද පියවර ගත්තේය. ඒ අනුව ගෝඨාභය මේ වන විට සූදානමින් සිටින්නේ යළිත් ලංකාවට පැමිණ මෙහි සිට ඇමෙරිකාව බලා යෑම සඳහා අවශ්‍ය ග්‍රීන් කාඩ් පහසුකම ලබාගැනීමටය. කෙසේ වෙතත් යළි දේශපාලනය කිරීමට ගෝඨාභයගේ අදහසක් ඇති බවක් නම් තවමත් වාර්තා වී නැත.

රනිල් මහින්දගේ ගෙදර යයි! විනාඩි 45ක් කතා කරයි!

මේ අතර ජනාධිපති සටන ජයග්‍රහණය කළ දින සවස එය රනිල්ගේ ජයග්‍රහණයකටත් වඩා හොඳ හැටි දැනී තිබුණේ පොහොට්ටුවේ ප්‍රධානීන්ටය. ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එදින සවස් වරුවේ රනිල් මහින්දගේ නිවෙසට ගොස් ඔහු සමග විනාඩි 45ක පමණ කාලයක් සාකච්ඡාවක නිරත වූ බව දැකගත හැකි විය. එහිදී කතා කළ කරුණු අතර වූයේ අගමැතිවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන පත්කිරීම පිළිබඳවත්, ගෝඨාභයගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳවත්ය. ඊට අමතරව තවත් දේශපාලන කරුණු ගණනාවක්ම දෙදෙනා අතර සාකච්ඡාවට ලක්ව ඇත.

නාමල්ගේ ගෙදර ග්‍රෑන්ඩ් පාටියක්!

ඊට අමතරව එදින රාත්‍රියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අබියස පදිංචිව සිටින නාමල්ගේ නිවෙසේ සුපිරි පන්නයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධාන කොට තිබිණ. ඒ සඳහා පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කොට තිබූ අතර, ඊට මන්ත්‍රීවරු 135 දෙනකු සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඩලස්ට ප්‍රසිද්ධියේ සහාය දෙන බව කී මන්ත්‍රීවරුන් අතර ඉදිරියෙන්ම සිටි ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයාද ඊට එක්ව සිටීමය. මහින්දද රාත්‍රියේදී ප්‍රිය සම්භාෂණයට පැමිණ බොහෝ වේලාවක් මන්ත්‍රීවරුන් සමග සිනාසෙමින් කතා කරන ආකාරයක් දැකගත හැකි විය. සාදය අවසන් වන විට අලුයම 3ද පසුව තිබූ අතර, බොහෝ මන්ත්‍රීවරුන් මධුවිතින් සන්තර්පනය වී ගීත ගායනා කරමින් අලුයම් කාලය දක්වාම සිටි ආකාරයක් දැකගත හැකි විය.

විපක්ෂය ශක්තිමත් කරන්න ඩලස් තීන්දු කරයි!

මේ ආකාරයට රනිල්ගේ ජයග්‍රහණයෙන් පසු පොහොට්ටුව නාමල්ගේ නිවෙසේ ජයපැන් බොද්දී සමගි ජනබලවේගය සහ ජනාධිපති සටනින් පරාජයට පත්වූ ඩලස් පිල අතර විශේෂ හමුවක් එදිනම රාත්‍රියේ තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි මොනාර්ක් උත්සව ශාලාවේ පැවැත්විණි. ඊට ඩලස්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් 15 දෙනකුට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ. එහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්වූයේ ඉදිරියේදී එක්ව දේශපාලන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවය. ඩලස් මෙහිදී පැහැදිලිවම කියා සිටියේ තමන් සමග සිටින 15 දෙනකු විපක්ෂයට එක්වී විපක්ෂය ශක්තිමත් කිරීමට තීරණය කොට ඇතැයි කියාය. එමෙන්ම ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ මෙම කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් හතර දෙනකු කෙළින්ම සජබය සමග එක්ව දේශපාලන කටයුතුවල නිරත වීමට තීන්දු කර ඇති බවකි.

කපිල පුංචිමාන්නගේ

සම්පුර්ණ ලිපිය මව්රට පුවත්පතින් උපුටා ගන්නා ලදී