Press "Enter" to skip to content

රනිල්ගේ ඉල්ලීමට සජිත් අගමැති කමට; ඩලස්ට උණ ෆෝන් එකත් ඕෆ්

වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමට අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ වැඩ බලන ජනාධිපති ලෙස වික්‍රමසිංහ මහතා කථානායකට කල ඉල්ලීමට අනුව හෙට පෙරවරු 10 ට පෙර සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයාගේ නාමය කථානායකවරයා වෙත යොමු කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බවයි.

ඊට අදාළ එකගතාවයක් ඇති කර ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ විසින් අද ආණ්ඩුවේ කණ්ඩායම් සමග සාකච්ඡා කරන බවද එහි වැඩිදුරටත් දැක්වේ.

එම කණ්ඩායම් සමග ද එකගත්වයෙන් එම නාමය යොමු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද දැනුම් දී තිබිණ.

එමෙන්ම කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඉකුත් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවක දී ද අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බවයි.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුලි 09 දා ද පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබිණ.

ස්වාධීන කණ්ඩායම වැට උඩ

මේ අතර, ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීමේදී තම කණ්ඩායමේ සහය ලබාදෙන්නේ කාටදැයි මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව ‘ස්වාධීන පක්ෂ එකමුතුව’ ප්‍රකාශකයකු කී බව “ද ලීඩර්” වාර්තා කර ඇත.

කෙසේවුවද රට මුහුණදී සිටින බරපතල ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වහාම නීතිය හා සාමය ස්ථාපිත කර යළි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට හැකියාවක් හා වැඩපිළිවෙලක් ඇති අපේක්ෂකයකුට තම එකමුතුවේ සහය ලබාදෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.

පක්ෂ 11කින් සමන්විත ‘ස්වාධීන පක්ෂ එකමුතුව’ තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නියෝජනය කරයි.

ඩලස් උණ

ජුලි 20 ජනාධිපති අපේක්ෂක සටනට ඉදිරිපත්වීමට නියමිත ඩලස් අලහප්පෙරුම මහතාට වෛරස් උණ වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

වෛද්‍ය උපදෙස් මත ඔහු මේවනවිට සිය ජංගම දුරකථනය පවා විසඳි කර ඇති බවද පැවසේ.

ඔහුගේ පවුලේ සියලුදෙනාට ම මෙම වෛරස් උණ අසාධනය වී ඇත.

කෙසේවුවද ඔහු තමා කිසිවිටෙක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීම සඳහා කිසිඳු අකාරයකින් දායකත්වයක් නොදක්වන බව ඔහු පවසා ඇත.