Press "Enter" to skip to content

දරුවන් අතර පැතිර යන වෛරස් රෝගයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගයක් මේ දිනවල පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

හෑන්ඩ්ෆුට්මවුත් ඩිසීස් නැමැති මෙම රෝගය වැලඳුණු දරුවන්ගේ උණ සමග ශරීරයේ රතු පැහැති බිබිලි ඇතිවීම නිරීක්ෂණය වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වාදෙයි.

රෝගය පහසුවෙන් පැතිර යන අතර එක් වරක් වැලඳුණු දරුවන්ට යළි වැළදීමේ හැකියාව ද පවතින බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ රෝගය වැලඳුන දරුවන්ට පැරසිටිමෝල් වැනි දෙයක් බීමට ලබාදී විවේකීව නිවසේ සිටීමට ඉඩ සලසා දෙන ලෙස ද වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම රෝගය වැලඳුන දරුවෙකුට කලාතුරකින් නියපොතු ගැලවී යා හැකි බවත්, එනිසා සින්ක් සහිත ආහාර හෝ සිරප් වර්ගයක් ගන්නා ලෙසත් වෛද්‍යවරයා දැනුම්දෙයි.

මෙය මාරාන්තික රෝගයක් නොවන බව ද පැවසු වෛද්‍යවරයා, මාස 6 සිට අවුරුදු 12 දක්වා දරුවන් ට මෙම රෝගී තත්ත්වය බොහෝ දුරට ඇති විය හැකි බව ද පැවසීය.

“මේ දිනවල කොළඹ නගරය අවට ළමයින් අතර, හෑන්ඩ්ෆුට්මවුත් ඩිසීස් කියන වෛරස් උණ රෝගය ඉතාම සීඝ්‍රයෙන් පැතිරෙනවා. මේක අතෙයි කකුලෙයි කටෙයි එනවා. සමහර වෙලාවට සුදු වතුර පිරුණු බිබිලි වගේ හැදෙනවා. කටේ රතු ලප එන නිසා ඒ දරුවන්ට කෑම අරුචියක් සහ අසහනකාරී තත්ත්වයක් ඇති වෙනවා. උණ ඇතිවෙනවා සමහර අයට. ඊට අමතරව මේ බිබිලි සමහර අයගේ කසනවා. මේක ඉතාම පහසුවෙන් දරුවෙකුගෙන් දරුවෙකුට බෝවෙන්න පුළුවන්. මේක වෛරස් එකක්. කොක්සකී කියන වෛරස් එක තමයි මේක පතුරවන්නේ. මේ රෝගයට ප්‍රතිශක්තිකරණයක් නෑ. එක සැරයක් හැදුන දරුවන්ට ආපහු ආපහු හැදෙන්න පුළුවන්. සමහරු බියට පත්වුණත් මේක මන්කිපොක්ස් නෙමෙයි. 

මෙය වළක්වා ගැනීම කළ යුතුයි. දරුවෙකුට උණත් එක්ක රතු ලප හෝ සුදු වතුර පිරුණු බිබිලි හරි කටේ රතු ලප දේවල් හැදුණොත් ඒ දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට, පෙරපාසලට, හෝ පාසලට යවන්නේ නැතුව ගෙදර දින 4ක් පමණ තියාගන්න. සාමාන්‍යයෙන් මේක දින 3 – 4කින් හොඳ වෙනවා.”

ඩෙංගු රෝග ව්‍යාප්තියේ අවදානම ද ඉහළ ගොස් ඇති බැවින් පාසල් ආරම්භයත් සමග එම පරිශ්‍ර පිරිසිදුව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය.