අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස තමන් කිසිදු දැනුම් දීමක් නොකළ බවත්, එවැනි දැනුම්දීමක් සිදු නොකරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායමට ඊයේ (28) දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා මෙලෙස ප්රකාශකර ඇත්තේ අන්තර්වාර රජයක් පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවලට හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ පක්ෂවල නායකයන්ට අද (29) ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ලිපි මගින් දැනුම් දී තිබියදීය.
ආණ්ඩු පක්ෂ මන්ත්රි කණ්ඩායම ඊයේ (28) ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් රැස්වී තිබුණේ ජනාධිපති මන්දිරයේදීය.
එහි දී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ වැරැදි මත පැතිරවීමෙන් වළකින ලෙසයි.
පක්ෂය දෙකඩ කිරීමට ද තමන් විරුද්ධ බව ඔහු අවධාරණය කර තිබේ.
අන්තර්කාලීන ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් රාජ්ය ඇමැති අරුන්දික ප්රනාන්දු මෙහිදී කරුණු පැහැදිලි කළද එහි අවසන් තීරණයක් ගැනීමට නොහැකි ව ඇති බවද පැවසේ.
අගමැති ධුරයට ඩලස් අලහප්පෙරුම මන්ත්රිවරයා පත් කරන බවට කතා බහක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රි ජානක තිස්සකුට්ටිආරච්චි මහතා මෙහි දී පවසා ඇත.
ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්රි ඩලස් අලහප්පෙරුම මහතා කියා ඇත්තේ අගමැතිවරයාගේ දේශපාලනය වෙනුවෙන් තමන් කළ කැපවීම මහින්ද රාජපක්ෂ මහතා හොඳින් දන්නා බවයි.
ඉන්පසු අගමැතිවරයා මන්ත්රිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ‘‘ඩලස් තමන්ගේ මිතුරකු බවත් ඔහුට චෝදනා කිරීම ගැන තමන්ද කනගාටුවට පත්වන බවයි.’’
මෙම සංවාදයට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ‘‘මමත්-අගමැතිවරයාත් සහෝදරයන් වන බැවින් වෙන් කිරීමට කිසිවකුට නොහැකි බවයි.’’
විපක්ෂ නායක නාමල්!
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධුරයෙන් ඉවත්කිරීමට කටයුතු නොකරන ලෙස තවත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්රීවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එවැනි ඉල්ලීමක් කර ඇත්තේ, පොහොට්ටු පක්ෂයේ ගාලු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සම්පත් අතුකෝරල සහ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී යූ. කේ. සුමිත් උඩුකුඹුර යන දෙදෙනාය.
මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කළහොත් පොහොට්ටු පක්ෂයේ 100කට වැඩි මන්ත්රී කණ්ඩායමක් විපක්ෂයට එක්වීමටත්, නාමල් රාජපක්ෂ විපක්ෂනායක ධුරයට පත් කිරීමටත් දැනටමත් තීරණය කර ඇතැයි ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බව වාර්ත වේ.
Published in Political