ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතා භූමියට (ගෝඨාගෝගම) ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මහා පරිමානයෙන් සපයන පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පසුගියදා එම භූමියට බුරියානි සැපයූ බව කියන කැනේඩියානු විදෙස් ගමන්බලපත්‍රයක් සහිත අරවින්තන් රාසනායගම් නැමැත්තෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට සොයමින් සිටින බව වාර්තා වේ.
සිය සහකාරියගේ මාර්ගයෙන් ඔහු පසුගිය වසරේ (2021) ලංකාවට ඇතුළුව ඇති බවත්, ජාත්‍යන්තර පොලිසිය විසින් ඔහුට 2019 සහ 2020 කාලයේදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාක් හේතුවෙන් වරෙන්තු නිකුත්ව ඇති බවත් පැවසේ.
අදාළ කරුණ පදනම්කර ගනිමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මේවන විට රහස් පොලිසිය සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් අරගල භූමියේ සිටින එහි සංවිධායකයින්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ සිය විරෝධතාව කඩා කප්පල් කිරීමේ රජයේ ව්‍යාපෘතියක් ලෙස ගෝඨාගෝගමට ලැබෙන සප්ලයි නැවැත්වීමට පුරවැසියන් බිය ගැන්වීමේ යටි අරමුණෙන් මෙය සිදු කරන්නේද යන්න පිළිබඳව මේවන විට සැක මතුව ඇති බවයි.






