බොහෝදුරට හෙට (04) වනවිට අලුත් කැබිනට් මණ්ඩලයක් සහිත අලුත් ආණ්ඩුව පිහිටුවීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසූ බව ද ලීඩර් වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.
එසේම විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉදිරිපත් කල යෝජනාවකට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එකඟත්වය පලවී ඇතැයි ද එහි දැක්වේ.
පවතින අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සහභාගිත්වයෙන් අන්තර්වාර පාලනයක් ස්ථාපිත කිරිමටත් අනතුරුව කෙටි කාලයක් තුලදී මහ මැතිවරණයක් කැඳවීමටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී යෝජනා කර ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය විමල් විරවංශ, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඊයේ ජනාධිපතිවරයා හමුවී එම ඉල්ලීම සිදුකර ඇති අතර, ඔවුන් අද අගමැතිවරයා ද හමුවී එම යෝජනාව ම ඉදිරිපත්කර ඇති බව පැවසේ.
ආණ්ඩුවේම හවුලකින් ඇති වැඩේ මොකද්ද?
ආන්තර් වාර ආණ්ඩුවට සමගි ජනබලවේගය කිසිසේත්ම සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියේය.
එසේම වත්මන් ආණ්ඩුවේ දූෂණ චෝදනා නොමැති අලුත් අන්තර් වාරණ ආණ්ඩුවක් හැදෙනවා නම් එයට රට ගොඩදැමීමේ වැඩපිළිවෙලක් වන්නේ නම් සිය සහයෝගය ලබාදෙන බවද කියා සිටියේය.
අලුත් අගමැති!
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයේ ප්‍රකාශකයකුගෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අලුත් ආණ්ඩුවක් හදන බවට සිය පක්ෂයට කිසිදු නිල ආරාධනයක් ලැබී නොමැති බවයි.
එසේම සිය මතය වන්නේ ජනාධිපතිවරයා ඉවත් වියයුතු බව යැයි කී හෙතෙම නැවතත් ජනපති අගමැති දෙදෙනාගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන ආණ්ඩුවකින් ඇති ඵළය කුමක්දැයි විමසා සිටියේය.
මෙය රාජපක්ෂ විරෝදය තාවකාලිකව යටපත් කර ගැනීමේ උප්පරවැට්ටියක් බවද ඔහු කියා සිටියේය.
source – srilankamirror.com
Published in Political