Press "Enter" to skip to content

දිනක වියදම මිලියන 32යි! මහින්ද තිරුපති ගිය පුද්ගලික ජෙට් යානයේ රහස එළියට!

නැව ගිලෙද්දී දෙවියන් වැඳීම

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා තිරුපති කෝවිල වැඳ පුදා ගැනීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියා.

මෙම ගමන සඳහා අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ, ඔහුගේ බාල පුතුවන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූවා.

රටෙහි ඩොලර් හිඟයක් පවතින වාතාවරණයක සහ ජනතාව ආර්ථික අතින් අන්ත අසරණ භාවයට පත්ව ඇති පසුබිමක අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ පිරිස මෙලෙස තිරුපති වන්දනා කිරීමට යාම සමාජයේ බොහෝ සෙයින් විවේචනයට ලක් වූවා.

මහින්ද රැගෙන ගිය පුද්ගලික ජෙට් යානය

විශේෂයෙන් මෙම ගමන සඳහා අධි සුඛෝපභෝගී පුද්ගලික ජෙට් යානයක් යොදා ගැනීම බොහෝ පාර්ශවයන්ගේ දැඩි අවධානයට ලක් වූවා.

ඒ පුද්ගලික ජෙට් යානාවලින් ගමන් බිමන් යාම සඳහා අධික වියදමක් වැය වීම සහ එවන් යානාවලින් ගමන් බිමන් යන්නේ ලොව සිටින ධනවත්ම පුද්ගලයින් වීම යන කරුණු හේතුවෙන්.

මෙවන් පසුබිමක මෙම ජෙට් යානය පිළිබඳ විශේෂ අනාවරණ කිහිපයක් සිදු කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කටයුතු කළා.

ඒ අද (28) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී.

යෝෂිතගේ අමුතු කතාව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා එහි දී පවසා සිටියේ මෙම තිරුපති ගමන සඳහා මුදල් වැය නොවූ බවට අග්‍රාමාත්‍යවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පුවත්පතක් වෙත ප්‍රකාශ කර ඇති බව යි.

ගමන සඳහා වූ වියදම අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙකු විසින් ලබා දුන් බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර  ඇතැයි ජයගොඩ මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මිතුරෙකු හෝ කවුරුන් හෝ මේ සඳහා වියදම් දැරුවත්, වියදම් වන්නේ විදේශ විනිමය බව යි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ මෙම ජෙට් යානයේ ගමනාන්තයන් පිළිබඳ අනාවරණයක් සිදු කළ පුබුදු ජයගොඩ මහතා ප්‍රශ්ණ කළේ එම ගමනාන්ත අතර පවතින “කොචින්” සහ “චෙන්නායි” බලා මෙම යානයෙන් ගමන් කළේ කවුරුන් ද සහ එහි රැගෙන ගියේ මොනවාද යනුවෙන්.

වියදම මිලියන ගණනක්

මෙවන් ජෙට් යානයක ගමන් කළ හැක්කේ විශාල ධනස්කන්ධයක් පවතින පුද්ගලයෙකුට පමණක් බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙනවා.

මෙම වර්ගයේ ජෙට් යානයක සේවය ලබා ගැනීමේ දී පැයක කාලයක් සඳහා වැයවන මුදල අමෙරිකානු ඩොලර් 6,700ක් පමණ වන බව යි පුබුදු ජයගොඩ මහතා අනාවරණය කර සිටින්නේ.

එවන් පසුබිමක පැය 24ක ගමනක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 32ක් පමණ මුදලක් වැයවන බව ද ඔහු පෙන්වා දුන්නා.

සාමාන්‍ය මගී ගුවන් යානයක ඉන්දියාව බලා ගමන් ගැනීමට හැකියාව තිබිය දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙතරම් විශාල වියදමක් සිදු කළේ මන්දැ යි ගැටළුවක් පවතින බව ද ජයගොඩ මහතා සඳහන් කරනවා.

යානය පිටුපස රහසක්?

මේ අතර මෙම යානයේ හිමිකාරීත්වය ඉන්දීය සමාගමකට අයත් බව පැවසුණත්, එහි ලියාපදිංචි නාමය පරීක්ෂා කිරීමේ දී එහි සැබෑ හිමිකාරීත්වය සම්බන්ධව ද ප්‍රශ්ණ සහගත බවක් හටගන්නා බව ද ජයගොඩ මහතා පෙන්වා දෙනවා.

එහි සංඥා නාමයට අනුව මෙම යානය “සැන් මැරීනෝ” රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති බව පෙනෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සැන් මැරීනෝ යනු යුරෝපයේ ඇති කුඩාම රාජ්‍යයන්වලින් එකක්වන අතර මෙම රාජ්‍යය “කළු සල්ලි සුදු කරන” ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වී ඇති බවත්, ඒ අනුව මෙම ගුවන් යානය ද කලු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ද යන සැකය ද මතුවන බවත් ජයගොඩ මහතා ප්‍රකාශ කළා.

source – am.lk