නිල වශයෙන් වාර්තා වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයින්ට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
මේ හේතුවෙන් ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරව පිළිපැඳීම වැදගත් බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“දැනට හඳුනාගත්ත ආසාදිතයින් සංඛ්‍යාව 7කට ආසන්නයි. නමුත් රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන් කියලා මේ ආසාදිතයින් හැසිරීම හා ඔවුන්ගේ නිරාවරණය වීම් සම්බන්ධව සලකා බැලීමේ දී ඉතාම පැහැදිලිව පේනවා. ඒ නිසා ඉදිරි සති තුනෙන් පස්සේ රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් ප්‍රමුඛම ආසාදිතයින් බවට පත්වෙලා රට තුළ ඔමික්‍රෝන් ප්‍රමුඛ කොවිඩ් -19 වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තියෙනවා. මහජනතාවට අනතුරු අඟවනවා. රට තුළ මේ වාර්තා වන සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වෙනවා. මේ සංඛ්‍යා ලේඛන සම්පූර්ණ සාවද්‍ය සංඛ්‍යා ලේඛන බව තමා පේන්න තියෙන්නේ. ඒ වගේම මරණ සංඛ්‍යාව පිළිබඳවත් බරපතළ ගැටලු මේ වෙද්දි අපිට නිර්මාණය වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දි රට තුළ කොවිඩ් -19 වසංගතයක් තියෙනවා. ඒක ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම සහ ප්‍රමුඛතම ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදය වීමත් එක්ක ඉදිරියේ දී තවත් තිව්‍ර වෙලා අවාසනාවන්ත තැනකට තල්ලු වෙන්න පුළුවන් කියන අවදානම මතක තියාගෙන නත්තල් සමරන්න කියලා ජනතාවට අවධාරණයෙන් කියනවා.”
මේ අතර බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන තුන ඉක්මවා ගොස් තිබේ.
ඊයේ (22) දිනයේ පුද්ගලයින් 147,745 දෙනෙකු සඳහා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමත් සමග එම මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 3,006,409 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02ක සම්පූර්ණ කළ පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාදීම පසුගිය ඔක්තෝබර් මස 21 වනදා ආරම්භ කෙරුණි.
පූර්ණ එන්නත්කරණයට ලක්ව මාස තුන සම්පූර්ණ වූ අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී තිබේ.
මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීමට පියවර ගත යුතු බවය.
Published in Health