Press "Enter" to skip to content

කොවිඩ් වැළඳුණු පිරිමින්ගේ සරුබවට බලපෑම්: නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පසු ඇති වන සංකූලතා හේතුවෙන් පිරිමි පුද්ගලයින්ගේ සරුබවට බලපෑම් ඇති වන බව බෙල්ජියමේ සිදු කරන ලද නවතම පර්යේෂණයකින් හෙළිව තිබේ.

කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිතව ආසාදනයට ලක්වූ පුද්ගලයින් 120 දෙනෙකු රෝගය සුව වීමෙන් අනතුරුව මෙම පර්යේෂණයට සහභාගී කර ගෙන ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, අදාළ පර්යේෂණ කණ්ඩායම විසින් මෙම පර්යේෂණ නියැදිය සඳහා වයස අවුරුදු 35ට වැඩි පිරිමි පුද්ගලයින් පිරිසක් යොදාගනු ලැබ ඇති බව ය.

එමගින් අනාවරණය වී ඇත්තේ, මෙම පර්යේෂණය සඳහා යොදාගත් පුද්ගලයින්ගේ ශුකුාණු නියැදිය ලබාගත් දින සිට දින 52ක කාලයකදී ඔවුන්ගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ඝණත්වය 37%කින් පහළ බැස ඇති බව ය.

කෙසේ වෙතත්, එලෙස පහළ බැස ඇති ශුක්‍රාණු ඝණත්වය මාස තුනක පමණ කාලයක් ගත වූ පසු යළි සාමාන්‍ය මට්ටමට පත් වන බවට ද අදාළ අධ්‍යයනයෙන් හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන් ම, ශුක්‍රාණු ඝණත්වය පහළ වැටීම හේතුවෙන් ශුක්‍රාණුවල පිහිනා යාමේ හැකියාව 60% කින් පමණ අඩු වී ඇති බවට ද මෙම පර්යේෂණ කණ්ඩායම නිරීක්ෂණය කර තිබේ.

ශරීරයේ ඇති වන උෂ්ණත්ව වෙනස්කම් හේතුවෙන් ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස ආසාදන තත්ත්වයන්ගෙන් පසුව ද ශුක්‍රාණුවල ගුණාත්මකභාවයේ අඩුවීම් සිදු වන බවට මින් පෙර සිදු කර ඇති අධ්‍යයනයන්ට අනුව පර්යේෂකයින් හඳුනා ගෙන තිබිණි.  

කෙසේ වෙතත්, කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමට වඩා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදු වන ඇතැම් වෙනස්වීම් මෙලෙස ශුක්‍රාණු ඝණත්වය පහළ වැටීමට හේතු විය හැකි බවට අදාළ පර්යේෂකයින් මත පළ කර තිබේ. 

අදාළ පර්යේෂණයේ දත්ත මත එම පර්යේෂකයින් වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ශුක්‍රාණුවල සිදු වන මෙම වෙනස්වීම කෙටි කාලීන වන බව ය.

ඒ අනුව, වෛරසය ආසාදනය වී සුව වීමෙන් මාස තුනකට පමණ පසුව මෙම යළි යථා තත්ත්වයට පත්විය හැකි බවට ද එම පර්යේෂකයින්ගේ සඳහන් කර ඇත.

මෙම පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇති වඩා ත් ‘ප්‍රබල ම සාක්ෂිය’, කොරෝනාවෛරසය ආසාදනය වූවකුගෙන් තවත් අයෙකුට එය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නොමැති බව ය.