Press "Enter" to skip to content

මවගේ මිනිය දින 5ක් තියාගෙන බඩපිස්සා බූරු ගහන්න හදලා

මියගිය මවගේ ම ළ සිරුර දින පහක් පුරා නිවෙසේ තබා ගෙන සූදු පිටියක් පවත්වා රුපියල් ලක්ෂ දහයක මුදලක් සොයා ගැනීමට වැල්ලම්පිටියේ පදිංචි තරුණයකු දැරූ උත්සාහයක් කොළඹ නාගරික මරණ පරීක්ෂණ උසාවියෙන් වාර්තා වෙයි.

වැල්ලම්පිටියේ පදිංචිව සිටි අසූ හැවිරිදි මවක් හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දී මිය ගියාය. ඇය දරුවන් නව දෙනකුගේ මවකි.

මියගිය මවගේ මරණ පරීක්ෂණයේ දී දරුවන් අට දෙනකු නිහඬව සිටියත් පවුලේ බාලයා විසින් මරණය කඩිනමින් ලබාගැනීමට දැඩි උනන්දුවක් දැක්වීම සම්බන්ධයෙන් කොළඹ නාගරික මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීරට ප්‍රහේලිකාවක් වූවාය.

පවුලේ බාලයා වූ තරුණයා මෘත දේහය තම නිවසට කඩිනමින් ගෙන යාමට දරන උත්සාහය පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ නාගරික මරණ පරීක්ෂකවරිය වැල්ලම්පිටිය පොලිසියට දැනුම් දී ඇත.

දින දෙකක් තුළ වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වාර්තාවක් සපයා තිබේ.මෙම තරුණයා දැඩි ලෙස සූදු කෙළියට අබ්බැහි වී ඇති බවත් මළ ගෙවල්වල සූදු පොළ පවත්වා ගෙන යාමට දක්ෂයකු බවත් පොලිස් වාර්තාවෙන් අනාවරණය විය. මළ ගෙදරක් සූදු පිටියක් පැවැත්වීමෙන් නිවෙස් හිමියාටත් විශාල මුදලක් ලබා දෙන අතර එලෙස ලබා දෙන මුදල ‘තෝං ලෙස හඳුන්වයි.

තම මවගේ මළ සිරුරත් නිවසේ දින පහක් තබා ගෙන එක් දිනකදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා ගෙන රුපියල් ලක්ෂ දහයක මුදලක් සොයා ගැනීම තරුණයාගේ අභිප්‍රාය බව නාගරික මරණ පරීක්ෂකවරිය විසින් අනාවරණය කොට ගෙන තිබිණි.

එම නිසා මළ සිරුර කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා ඉතාම ආවේගශීලී ලෙස මෙම තරුණයා මරණ පරීක්ෂණ උසාවියේ දී හැසිරී තිබේ. එහි දී පොලිසිය මැදිහත් වී තරුණයා ඉවත් කර දැඩි ලෙස අවවාද කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ කොළඹ නාගරික මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මෙලෙස අදහස් පල කළාය. මිය ගිය මවගේ දරුවන් අට දෙනකු සමාජයේ යහපත්ව ජීවත් වෙනවා. වැඩිමහල් පුත්‍රයා වරාය අධිකාරියේ ඉහළම තනතුරක් දරනවා.

නමුත් පවුලේ එක් දරුවෙක් නොමඟ යාමට හේතුව කුමක්ද? මෙම තරුණයා පවුලේ බාලයා වී ඉපිද ගෙදර ‘බඩ පිස්සා ලෙස වසර දොළහක්ම මවගෙන් කිරි බී තිබෙනවා. මේ නිසා පවුලේ අනෙක් දරුවන්ට වඩා මෙම දරුවා සුරතලයෙන් ඇති දැඩි කිරීම විනාශයට හේතුවයි.

දරුවන්ට පොළොවේ පය ගසා ජීවත් වීමට අවශ්‍ය පන්නරය දෙමාපියන් විසින්ම ලබා දිය යුතුය. නැති නම් දෙමාපියන් නොහඳුනන දරුවන් බිහි වෙනවා. මවගේ මෘත දේහය හරි විකුණා මුදල් හම්බ කරන්න ඔවුන් පෙළඹෙනවා.

මම මරණ පරීක්ෂණ දස දහසකට වඩා සිදු කර තිබෙනවා. මෙම තුරුණයාගේ හැසිරීම සැක සහිත වූ නිසා තමයි මෙම තොරතුරු සොයා ගැනීමට හැකි වුණේ.මෙම තරුණයා පිළිබඳව පවුලේ සහෝදරයන්ගෙන් විමසූ විට මෙම සියලු තොරතුරුත් ලබා දුන්නා.
පවුලට අපකිරීතියක් ඇති කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ කිරීම ගැන ඔවුන් මට ස්තුතිය පුද කළා. මෙම තරුණයාගේ ක්‍රියාකලාපය දෙමාපියන්ට දරුවන් හැදීමේ දී ආදර්ශයක් යැයි නාගරික මරණ පරීක්ෂකවරිය කියා සිටියාය.

මෙම මරණය දියවැඩියාව සහිත හෘදයාබාධ හා වයස්ගත වීම නිසා සිදු වූ මරණයක් බව තීන්දු කෙරුණි.

මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පවුලේ අනෙක් සහෝදරයන් අට දෙනාට භාර දුන් බව නාගරික මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර කියා සිටියාය.

ටී.එන් සමරවීර ( අරුණ පුවත්පත )

More from GossipMore posts in Gossip »