Press "Enter" to skip to content

නිල්ලඹ ඔයේ සැඩපහරට හසුවූ පස්දෙනාගෙන් අයෙක් මරුට මව සහ දරුවා අතුරුදන්

පේරාදෙනිය පොලිස් වසමේ ගනේගොඩ නිල්ලඹ ඔයේ දිය නෑමට ගිය එකම පවුලේ පස්දෙනකු සැඩපහරකට හසුවී ගසාගෙන යෑමෙන් එක් අයෙකු මියගොස් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

ප‍්‍රදේශවාසීන් විසින් දෙදෙනකුගේ දිවි බේරාගෙන ගම්පොල රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මහනුවර මහයියාව පූර්ණ වත්ත ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් පාරිස් නමැති විසි දෙහැවිරිදි අයෙකි.

නිල්ලඹ ඔයේ සැඩපහරට හසුවූ පස්දෙනාගෙන් අයෙක් මරුට මව සහ දරුවා අතුරුදන්

සිද්ධියෙන් අතුරුදහන්ව ඇත්තේ ෆාතිමා අෂ්ෆා (20) මව හා ෆාතිමා හාලියා (අවු. දෙකහමාර ) දුව යන දෙදෙනාය.

මොවුන් ඉරිදා සවස හතරයි තිහට පමණ මෙම ස්ථානයට පැමිණ ඇත්තේ ත‍්‍රිරෝද රථයකිනි. පසුව නිල්ලඹ විදුලි බලස්ථානය අසල දිය නාමින් සිටියදී ඔයේ දියපහර වැඩි වී තිබේ.

ඔයේ ඉහළ ප‍්‍රදේශයට සවස් වරුවේ අධික වර්ෂාවක් ඇද හැලීම නිසා මෙසේ දිය පහර වැඩි වී ඇති අතර ප‍්‍රදේශවාසීන් පවසන්නේ නිල්ලඹ වේල්ලේ වාන් දොරටු ඇරීම නිසා ජලය වැඩි වූ බවයි.

ප‍්‍රදේශවාසීන් විසින් සිද්ධිය පේරාදෙණිය පොලිසිය වෙත දන්වා ඇත. මෙම අනතුරින් බේරී ඇත්තේ අතුරුදහන් කාන්තාවගේ සැමියා වන මොහොමඞ් අසීෆ් (25) හා ෆයිසර් අහමඞ් (20) යන දෙදෙනායි. ඔවුන් ගම්පල රෝහලේ ප‍්‍රතිකාර ලබයි. පොලිසිය හා නාවික හමුදා කිමිදුම් අංශය විසින් අතුරුදන් අයගේ මළ සිරුරු සොයා මෙහෙයුමක් අරඹා තිබේ.

ගම්පොල දොළුව ප‍්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න මහත්මිය ඇතුළු පිරිසක් පැමිණ වාන් දොරටු ඇරීම හා අනතුරු සංඥා නිකුත් නොවීම පිළිබඳව විමසීමට පියවර ගනු ලැබීය. සිද්ධියෙන් මිය ගිය මොහොමඞ් ෆාරිස් විදේශගතවීම සඳහා සූදානම්ව සිට ඇති බවද පැවසේ.

ගම්පොළ – සුරංග දිල්හාන්, සමන්ති වීරසේකර

More from GossipMore posts in Gossip »