ගෑස් අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා සිටි කාන්තාවක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මාතලේ, උඩුපීල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 69 හැවිරිදි කාන්තාවකි.
mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මාතලේ පොලිසිය සඳහන් කළේ, නොවැ. 19 වන දා අදාළ කාන්තාව ගෑස් ලිප දැල්වූ අවස්ථාවේදී ඇයගේ සිරුරට ගිනි ඇවිලී තිබූ බව ය.
ඒ අනුව, පොලිස් නිලධාරීන් එම සිදුවීම වූ ස්ථානය පරීක්ෂා කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, ගෑස් සිලින්ඩරය සහ ලිප ඇතුළු උපකරණවලට හානි සිදුවී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බව ය.
එමෙන් ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ පවුලේ සාමාජිකයින් මාතලේ පොලිසිට පැමිණිලි කර ඇති බව ද පොලිසිය පැවසීය.
මාතලේ පොලිසිය සඳහන් කළේ, අදාළ කාන්තාව මියගොස් ඇත්තේ පිළිස්සුම් තුවාල සහ හෘදයේ ඇති වූ සංකූලතා හේතුවෙන් බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇති බව ය.
අනතුරට ලක්වූ කාන්තාව ප්‍රතිකාර සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවිය වෙත මිය ගිය කාන්තාවගේ පවුලේ සමීපතමයෙකු අදහස් දැක්වීය.
“උදේ 5.30ට විතර ගෑස් ලිප පත්තු කරලා තියෙනවා තේ හදන්න කියලා. ඒ වෙලේ තමයි පිපිරිලා තියෙන්නේ. බටෙයි ලිපයි පුපුරලා. ඊට පස්සේ පුංචිගේ ඇඳුමට ගිනි ඇවිලිලා තියෙනවා. ඊට පස්සේ බාප්පා, පුංචිව වතුරට අල්ලලා ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා තියෙනවා. ඊට පස්සේ සැත්කමකට අරගෙන තියෙනවා. මුලදී එච්චර තුවාල තිබ්බේ නැති වුණාට සැත්කමෙන් පස්සේ 50%කට වඩා පිච්චිලා තියෙනවා කියලා දැනගත්තා. ඒ කියන්නේ 60%කට ළංවෙන්න විතර පිච්චිලා තියෙනවා.”
ඔහු සඳහන් කළේ සති දෙකකට ආසන්න කාලයක් අදාළ කාන්තාව මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව ත් මීට දින දෙකකට පෙර රෝහලෙන් සිට නැවත නිවස වෙත රැගෙන පැමිණි බව ත් ය.
“සුව වෙන තත්ත්වෙට ඇවිල්ල තිබුණු නිසයි, සීනි මට්ටම සාමාන්‍ය වෙලා වෙලා තිබුණු නිසයි අයි.සී.යූ. එකෙන් ටිකට් කැපුවේ.”
අද දින නැවත අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල වෙත රැගෙන යාමට තිබුණු බව ත් ඇයගේ රුධිරයේ සීනි මට්ටම පහළ මට්ටමක පැවති බව ත් ඔහු පැවසී ය.
ඒ අනුව, ඇය නැවත රෝහල්ගත කර ඇති අතර එහිදී එම කාන්තාව ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඔහු ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගෑස් සිලින්ඩරය සැපයූ ආයතනයට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව ය.
“දැන් ලිට්රෝ එකට ලීගල් ඇක්ෂන් එකක් ගන්න තමයි යන්නේ. එයාලට කතා කළා ම ඒගොල්ලොන්ගේ පාර්ශවයෙන් කිසි ම ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ පාරිභෝගික සේවා අධිකාරියට ත් මේකට පැමිණිල්ලක් දාලා තියෙනවා. එතකොට පාරිභෝගික සේවා අධිකාරියෙන් ලියුමක් එවලා තියෙනවා ඒ සියලු ම දේවල් පොලිසියට භාර දෙන්න කියලා. පොලිසියට ගිහිල්ල කියපුවා ම පොලිසියෙන් කියනවා අපිට ඒවා භාර ගන්න බැහැ කියලා. එහෙම තත්ත්වයක් තම යි දැනට තියෙන්නේ.”






