පසුගියදා කළ එළියට පැමිණි සූර්යාගේ ‘ජායි භීම්’ (Jai Bhim) චිත්‍රපටය ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම පෙරළි කරමින් සිටී. ටී.ජේ. ඥානවේල් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ඉන්දියාවේ කුල අර්බුදය නිසා දුක්විඳින ඉරුල ගෝත්‍රික කාන්තාවකගේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වී තිබේ. ඇයගේ ශෝකාන්තය අසමින් ඇයට පිහිටවන කේ. චන්දෘ නම් නීතිඥයාගේ භූමිකාව රඟදක්වන්නේ දෙමළ සිනමාවේ වීරයා වන සූර්යා සිවකුමාරන්ය. මෙහි නිෂ්පාදනය සූර්යා සහ ජෝතිකා විසිනි.
කොවිඩ් හමුවේ ලොවම අලුත් වේදිකාවන් සොයා යන ගමනේ ජෝතිකා සහ සූර්යාත් ඔවුන්ගේ අලුත්ම චිත්‍රපටය දීපාවලි දිනයේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ වෙබ් අඩවිය මගින් සිනමා රසිකයන් වෙත මුදා හැරියේය. පළමු දිනයේ සිට සති දෙක තුනක් යනතෙක්ම චිත්‍රපටයේ උණුසුමත් නොනිවී පැවතුණි. ඒ සමගම නිමක් නැති ගැටලු රාශියකට මුහුණ දීමට සූර්යාට මෙන්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂ ටී.ජේ. ඥානවේල්ටද සිදුවිය.
සූර්යාගේ නිවස වටලන්න සැරසෙන වන්නියාර් ප්‍රජාව…
‘ජායි භීම්’ (Jai Bhim) චිත්‍රපටය ඉන්දියාවේ කුල අර්බුදය නිසා දුක්විඳින ඉරුල ගෝත්‍රික කාන්තාවකගේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි. මෙහිදී, වන්නියාර් ප්‍රජාව නියෝජනය කරන පිරිස් විදී බැස විරෝධතා පැවැත්වූයේ සිය ප්‍රජාවට ‘ජායි භීම්’ චිත්‍රපටය නිසා අසාධාරණයක් සිදුවන බව පවසමිනි. එහිදී, වන්නියාර් ප්‍රජාවගේ දින දර්ශනයක් ‘ජායි භීම්’ චිත්‍රපටයේ එන දර්ශනයකට යොදා ගෙන තිබීමත් මේ උද්ඝෝෂණ ඔඩු දුවන්නට තවත් හේතුවක් විය. ඒ ඉරුල ගෝත්‍රිකයන්ට හිංසා පීඩා කළේ වන්නියාර් ගෝත්‍රයේ පොලිස් නිලධාරියෙක් බව හැඟවීමට අධ්‍යක්ෂවරයා පොලිස් ස්ථානයේ ඇති වන්නියාර් ගෝත්‍රයේ දින දර්ශනයක් යොදාගත් බව පවසමිනි.
මේ හේතුව නිසා සූර්යාගේ නිවසට පොලිස් ආරක්ෂාව යෙදවීමට ඉන්දීය ප්‍රාන්ත රජයට සිදුවිය. ඉන්ඩියා ටුඩේ ඉංග්‍රීසි වෙබ් අඩවියේ පුවතට අනුව වන්නියර් සංගම් ප්‍රාන්ත සභාපතිවරයා විසින් ‘ජායි භීම්’ චිත්‍රපටයේ නළු සූර්යාට, ‘ජායි භීම්’ හි නිෂ්පාදිකා ජෝතිකා, ඇමසන් ප්‍රයිම් වීඩියෝ සමාගමට සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ටී.ජේ. ඥානවේල් හට කෝටි පහක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබුණි. එමෙන්ම, ‘ජායි භීම්’ චිත්‍රපටයේ සියලුම නළු නිළියන් සහ නිෂ්පාදකවරුන් වන්නියාර් ප්‍රජාවගෙන් සමාව ගතයුතු බව වන්නියර් සංගම් ප්‍රාන්ත සභාපතිවරයා පවසන්නේය.
එහිදී, අධ්‍යක්ෂ ටී.ජේ. ඥානවේල් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණේ තමන් ‘ජායි භීම්’ චිත්‍රපටයෙන් වන්නියාර් ප්‍රජාව අපහසුතාවට පත් නොකළ බවයි. එමෙන්ම, මෙය සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වූ කතාංගයක් බැවින් තමන්ගේ ඕනෑකමට හෝ නළු නිළියන්ගේ ඕනෑකමට කිසිදු ව්‍යාජ දර්ශනයක් යොදාගත්තේ නැති බවත් ඔහු පවසන්නේය. එමෙන්ම, මේ නිසා යම් කෙනෙකුට සිත් රිදීමක් සිදුව ඇත්නම් තමන් ඒ පිළිබඳව කනගාටු වන බවත් මේ කිසිවකට සූර්යා හෝ ජෝතිකා වගකිව යුතු නොමැති බව අධ්‍යක්ෂ ටී.ජේ. ඥානවේල් කියන්නේය.
වාර්තා පිට වාර්තා තබන ‘ජායි භීම්’
වෙනදා නම් සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය වන අතර වාරයේ චිත්‍රපටය තැබූ බොක්ස් ඔෆිස් වාර්තා පිළිබඳව කතා වන්නේය. අද ඔවුන්ම ලෝකය පුරාම සිය චිත්‍රපටය එක් මධ්‍යයක විකාශය කරමින් ලෝකය පුරා ගෙන යන්නේය. එවිට වෙනදාටත් වඩා ඔවුන් වෙත පැමිණෙන සිනමා රසික ජනකාය දෙගුණ තෙගුණ වන්නේය. එසේම ‘ජායි භීම්’ චිත්‍රපටයත් ‘ඇමසන් ප්‍රයිම් වීඩියෝ’ සමූහයට නිකුත් කළ විට දේශීය රසිකයන් මෙන්ම විදේශීය රසිකයන්ගේද විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව ලෝකයම පිළිගත් චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් මාර්ගගත දත්ත සමූහයක් හිමි අයි.එම්.ඩී.බී වෙබ් අඩවියට අනුව ලෝකයේ වැඩිම නැරඹුම් වාර ගණනක් හිමි එකම දෙමළ චිත්‍රපටය බවට ‘ජායි භීම්’ පත්වන්නේය.
එමෙන්ම, මෙම චිත්‍රපටය ලෝකයේම ආකර්ෂණය දිනාගත් හොලිවුඩයේ The Shawshank Redemption සහ The Godfather තැබූ වාර්තාවන් පවා අභිබවා ගොස් තිබුණි.
කෙසේ වෙතත්, ලෝක මාධ්‍යයේද දැඩි අවධානය දිනා ගැනීමටත් ටී.ජේ. ඥානවේල් අධ්‍යක්ෂණය කළ ජායි භීම්’ චිත්‍රපටයට හැකිවිය. එහිදී, බීබීසී, සීඑන්එන්, අල් ජසිරා, Yahoo පුවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලිජ් ටයිම්ස් සහ ද ඉන්ඩිපෙන්ඩන්ට් යන ජාත්‍යන්තර මාධ්‍යවල පවා සිරස්තලයක් බවට පත් වීමට ‘ජායි භීම්’ චිත්‍රපටයට හැකිවිය.
සිනමා රසිකයන්ගේ ආදරය දිනාගත් ‘සූර්යා’
මේ ආකාරයට සිව්දෙසින්ම ප්‍රශංසා ලැබෙද්දී ඉන්දියාවේ සුළු කොටසකින් සූර්යාට දැඩි සේ විරෝධයක් එල්ල වන්නට පටන් ගත්තේය. එත් සූර්යාගේ රශ්මිය බිඳ නොවැටෙන්නට ඔවුන්ගේ රසිකයන් ඔහුට ශක්තියක් විය. එහිදී, සමාජ මාධ්‍යවල #WeStandwithSuriya යන හැෂ් ටැගය භාවිත කරමින් සූර්යයාට සහ ජෝතිකාට සහයෝගය දැක්වීමට සිනමා රසිකයන් පෙළ ගැසී සිටියහ.
එමෙන්ම, ‘ජායි භීම්’ චිත්‍රපටයේ අගතියට පත් සෙංගෙනි නම් ඉරුලර් ගෝත්‍රික කාන්තාවගේ චරිතය රඟදක්වන්නේ මලයාලම් සිනමාවේ තාරාකාවියක් වන ලිජෝමෝල් ජෝස් විසිනි. මෙම කතාවේ සත්‍යම සෙංගෙනි වන පාර්වතී අම්මාල්ට සූර්යා විසින් සිය චිත්‍රපටයේ ආදායමෙන් ඉන්දීය රුපියල් ලක්ෂ දහයක මුදලක්ද ලබාදී තිබුණි. ඊට අමතරව ඉරුලර් ගෝත්‍රික සිසුන්ගේ අධ්‍යාපනය සහ සුබසාධනය වෙනුවෙන් තමිල්නාඩු රජයට ඉන්දීය රුපියල් කෝටිය මුදලක් පරිත්‍යාග කිරීමට සූර්යා කටයුතු කර තිබුණි.
‘ජායි භීම්’ නොසලකා හරින්න….
මලයාලම්, තෙළිඟු, කන්නඩි, හින්දි සහ දෙමළ භාෂා භාවිත කරමින් නිර්මාණය කරන ලද අතිශයින්ම ජනප්‍රිය ‘ජායි භීම්’ චිත්‍රපටය ඉන්දියාව තුළ පැවැත්වෙන කිසිදු සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍රා නොකරම නොසලකා හරින ලෙස වන්නියාර් සංගම් සංවිධානය පවසා තිබුණි. ඒ පසුගියදා ඉන්දියාවේ තොරතුරු හා විකාශන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන චිත්‍රපට උළෙල අධ්‍යක්ෂ මණ්ඩලය හා පැවති සාකච්ඡාවක් අතරතුරදීය. එහිදී, වන්නියාර් සංගම් සංවිධානය ඉල්ලා සිටියේ චිත්‍රපටය කිසිදු ‘අගය කිරීමකට හෝ පිළිගැනීමකට’ ලක් නොකරන ලෙසයි.
හර්ෂණී දිසානායක






