Press "Enter" to skip to content

මහේලගෙන් LPL ගැන විශේෂ ට්විටර් සටහනක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිත සදහා තෝරා ගත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන අදහස් පල කර තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

LPL තරගාවලියේ දෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම ඊයේ (09) පැවැති අතර, එහිදී කිසිදු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා 20-20 කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා තෝරා ගත්තේ නැහැ.

එමෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද් භානුක ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සිය කණ්ඩායම් සදහා තෝරා නොගැනීමටයි කණ්ඩායම් බළධාරීන් පියවර ගත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මහේල ජයවර්ධන සදහන් කළේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී සිත්ගන්නා සුළු තෝරා ගැනීම් මෙන්ම තෝරා නොගැනීම් සිදුව ඇති බවයි.

“එක පියවරක් ඉදිරියටත් පියවර 5ක් ආපස්සටත් තැබූ විට රටකට දියුණු වීම දුෂ්කරයි” යනුවෙන් මහේල ජයවර්ධන සදහන් කළා. “මෙය සැබෑ දක්ෂතා වර්ධනය කර ගැනීමේ දේශීය තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතක නොකළ යුතුයි”