බදුල්ල, වේවැල්හින්න ප්‍රදේශයේ පදිංචි මවක් අද (ඔක්. 27) දින පෙරවරුවේ තම දරුවන් තිදෙනාට ද වස පොවා ඇය ද වස පානය කර සිටියදී ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කළ බව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.
අප වාර්තාකරු සඳහන් කළේ, අදාළ මව 35 වන වියේ පසුවන අතර දරුවන් තිදෙනා අවුරුදු 3, 5 සහ 7 යන වයස්වල පසුවන බව ය.
රෝහල්ගත කිරීමෙන් පසුව මේ පිළිබඳව විමසීමේදී ඇය සඳහන් කර ඇත්තේ, ජීවත්වීමට ඇති අපහසුතා හේතුවෙන් තමන් වස පානය කර දරුවන්ට ද පෙවූ බව ය.
කෙසේ වෙතත්, දියණියන් තිදෙනාගේ සහ මවගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් මේ වන විට බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.






