අද තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා පිල මෙන්න
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය නැමීබියාව සමගින් අද (18 වැනිදා) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම කණ්ඩායම් දෙක ඉතිහාසයේ එකිනෙකා මුණගැසෙන පළමු හමුවීම මෙය වන අතර නැමීබියා කණ්ඩායම අයර්ලන්තය හැරුණුවිට ටෙස්ට් වරම් දිනා තිබෙන කණ්ඩායමක් සමගින් ක්‍රීඩාකරන පළමු අවස්ථාවද මෙය වේ.
තරගයට පෙර අවසන් පුහුණු සැසිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17 වැනිදා) අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී සහභාගි විය. එහිදී ඔවුන් විසින් පිතිකරණ පුහුණුවීම් වල පැය දෙකක පමණ කාලයක් නිරත වූ අතර අනතුරුව ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පන්දු රැකීමේ පුහුණුවීම් සහ ඇඟ උණුසුම් කිරීමේ ව්යායාමහි නිරතවනු දක්නට ලැබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශකයෙකු වශයෙන් කණ්ඩායමට එක්ව සිටින මහේල ජයවර්ධන පෙර පැවැති පුහුණුවීම්වලදී සේම ක්‍රීඩකයන් එකිනෙකා අසලටම ගොස් ඔවුන් සමග සිය අදහස් නිරන්තරයෙන් හුවමාරු කරගන්නා අයුරු පුහුණු සැසිය පැවැති පැය කිහිපයේම දක්නට ලැබිණ.
කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වී ඇති බැවින් ශ්‍රී ලංකා පිලේ නිත්‍ය ආරම්භක පිතිකරු වගකීම ඔහුට පැවරෙන බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් සහ නායක දසුන් ශානකගේ සහභාගිත්වයෙන් ඊයේ (17 වැනිදා) ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය. ඒ අනුව අද (18 වැනිදා) තරගයේදී කුසල් ජනිත් පෙරේරා සමගින් අනෙක් ආරම්භක පිතිකරු ලෙස යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී. ඒ අනුව දිනේෂ් චන්දිමාල්ට අද නොම්මර තුන ස්ථානයේ අවස්ථාව හිමි වීමට නියමිතය. ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කළ අවිශ්ක ප්‍රනාන්දු නොම්මර හතර ස්ථානයේ ක්‍රීඩා කිරීම මහේල ජයවර්ධනගේ තීරණයකට අනුව සිදුවූවක් බව මිකී ආතර් එහිදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මිකී ආතර් ‘අවිශ්ක නොම්මර හතර ස්ථානයේ ක්‍රීඩා කිරීමේදී දැක්වූ දක්ෂතා පිළිබඳව මහේල දත්ත ඉදිරිපත් කරමින් මට සහ නායක දසුන්ට කියා සිටියා ඔහු අදාළ ස්ථානයට ගැලපෙන බව.’යැයි කියා සිටියේය.
කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායක දසුන් ශානක ‘එක ස්ථානයක් හැරුණු විට කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙල කල් ඇතිව සැලසුම් කරලා තිබුණේ. ක්‍රීඩකයන් සියල්ල ආත්ම විශ්වාසයකින් ඉන්නවා තරග සියල්ල ජය ගන්න පුළුවන් වෙයි කියලා.’යි යනුවෙන් කීවේය.
අද තරගය වෙනුවෙන් නැමීබියාවද ඊයේ ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැය කිහිපයක් පුහුණුවීම් වල නිරතව සිටියේය. සුදුසුකම් ලැබීමේ වටයට පෙර පැවැති පුහුණු තරග දෙකම ඕමානය සහ ස්කොට්ලන්තය හමුවේ නැමීබියාව පරාජය පත් වීම කැපී පෙණිනි.
නැමීබියාව මෙම ලෝක කුසලාන අදියර පිණිස සුදුසුකම් ලැබීම වෙනුවෙන් මෙතෙක් සහභාගි වී තිබෙන විස්සයි විස්ස තරග 22කදී තරග 18ක් ජයගෙන තිබුණි. පරාජය වූ තරග 4 අතරින් එකක් ටෙස්ට් වරම් හිමි අයර්ලන්තය හමුවේ පරාජය වී තිබේ.
‘ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය හිමි කණ්ඩායමක්. ඒ නිසා අපේ කණ්ඩායමට වඩා අද ශ්‍රී ලංකාවට පීඩනය වැඩි දිනයක් වේවි’ යැයි නැමීබියානු නායක ජෙරාඩ් එරාස්මස් ඊයේ අදහස් දැක්වීය.
නැමීබියාවේ ප්‍රධානතම වේග පන්දු තුරුම්පුව ඩේවිඩ් වීස් වේ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් 2013 වසරේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් දිනා ගන්නා වීස්ට 2016 වසරෙන් අනතුරුව දකණු අප්‍රිකානු කණ්ඩායමෙන් කැඳවීමක් ලැබී තිබුණේ නැත. ඉන් අනතුරුව සිය පියාගේ මව්රට වන නැමීබියාව වෙනුවෙන් මේ වසරේ ඔක්තෝබර් 01 වැනිදා සිට ඔහු ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කරන ලදී.
ඉකුත් සැප්තැම්බර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්යි විස්ස ක්‍රිකට් තරගාවලියේ සෙන්ට් ලුසියා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් අවසන් පූර්ව තරගයේදී ලකුණු 39 කට කඩුලු 05ක් සහ පන්දු 21කට ලකුණු 31ක් රැස්කරමින් අදාළ කණ්ඩායම අවසන් මහා තරගය සඳහා රැගෙන ගියේද වීස් විසිනි.
අද ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය
කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක, චාමික කරුණාරත්න, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ
නැමීබියානු සංචිතය
ජෙරාඩ් එරාස්මස් (නායක), ජේ.ජේ. ස්මිට්, ස්ටීපන් බාඩ්, කාල් බාර්කෙන්ස්ටොක්, මිචාව් ඩූ ප්රීස්, ජැන් ෆ්රිලින්ක්, සේන් ග්‍රීන්,ජෑන් නිකොල් ලොෆ්ටී, බර්නාඩ් ස්කොල්ට්ස්, බෙන් ශිකොන්ගෝ, රුබන් ට්‍රම්ප්ලිමන්, මයිකල් වෑන් ලින්ගන්, ඩේවිඩ් වීස්, ක්‍රෙයිග් විලියම්ස්, පිකි යා ෆ්රාන්ස්