Press "Enter" to skip to content

අනතුරට පත් පුද්ගලයෙකුට උදව් කරන්න ගිය කාන්තාවක් කැබ් රථයකට යට වී මියයයි

කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි ඊයේ (06) රාත්‍රී අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටිමෙන් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රොහල් ගතකර ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි හතලිස් හය හැවිරිදි තිදරු මවක් වන කේ.ආර් අමරාවතී යන අයයි. ඇයගේ දියණියක් වන විසි හතර හැවිරිදි පස් මස් ගැබිණියක් ද බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

තුවාල කරුවන් අතර සිටි විසි අට හැවිරිදි යතුරු පැදි කරු වන ඩබ්ලිව්. එල්. කසුන් සමිර නැමැත්තා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ කැබ් රථයේ රියදුරුවන කඩවැද්දුව යටියන පදිංචි ආර්.යු. කංකානම්ගේ (28) යන අය මාතර පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් ඇත.

මියගිය කාන්තාවගේ නිවස ඉදිරිපිට මාර්ගයේ යතුරු පැදියක් පෙරළී ඇති අතර මිය ගිය කාන්තාව තම දියනිය සමග නිවසින් එළියට පැමිණ අනතුරට පත් වූ යතුරු පැදි කරුට යතුරු පැදිය ඔසවා ගැනීමට උදවු කරමින් සිටියදී වේගයෙන් පැමිණි කැබිරථය මොවුන් යට කරගෙන ඉදිරියට ඇදිගොස් තවත් තාප්පයක ගැටි නතර වු බව ප්‍රදේශවාසීහු පවසති.

අනතුර සිදුවු ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ මිටර් විසිපහක් පමණ දුරට සුදු පැහැයෙන් යුත් තින්ත විසිරි ඇති අතර ඒ මතින් කැබ් රථය ගමන් කිරිමේදි ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණයවූ බව පොලිසිය පවසයි.

ජයසිරි පේදුරආරච්චි – මාතර

More from GossipMore posts in Gossip »