තරුණ ප්‍රජාව ප්‍රමාද නොවී එන්නත් ලබා ගැනීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
අද (ඔක් 4) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිය වැඩි වීම හරහා සිරුරෙන් පිට වන වෛරස් ප්‍රමාණය අඩු වන බවය.
මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසීය.
“තරුණ කොටස් තමා වැඩියෙන් ම සමාජයේ සක්‍රීය. නිතර නිවසින් බැහැර කර්තව්‍යන් සඳහා වැඩියෙන් ම යෑමට ඉඩකඩ තියෙන්නේ මේ වයස් කාණ්ඩවල ඉන්න පුද්ගලයින්. මේ අය පළමුවෙන් ම තමන්ගේ ආරක්ෂාව සඳහා එන්නත ලබා ගැනීම වැදගත් වෙනවා. මේ එන්නත ලබා ගැනීමෙන් තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වීම හරහා ශරීරයෙන් එළියට දමන වෛරස් ලෝඩ් එක එහෙම නැත්නම් වෛරස ප්‍රමාණය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඒ නිසා ම යම් ආකාරයට මේ රෝගය අපි එළියට ගිය වෙලාවක වැළඳුණොත් ඒකෙන් අපේ නිවසට මේ රෝගය ගෙන යෑමට තියන ඉඩකඩ අවම කරනවා. ඉතින් ඒ නිසා සියලු දෙනා ම එන්නත අප්‍රමාදව ලබා ගැනීම වැදගත් වෙනවා.”
මේ අතර මේ වන විට කොවිඩ් මරණ සංඛ්‍යාව අඩු අගයක් වාර්තා වන අතර ඉන් තවමත් වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ එන්නත් ලබා නොගත් අය බව හේමන්ත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
“සමස්තයක් හැටියට මිය යන සංඛ්‍යාවේ ලොකු අඩුවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් රටේ වැඩි ජනගහනයට මේ එන්නත ලබා දීගන්නට පුළුවන් වුණොත්” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.






