Press "Enter" to skip to content

මගේ ජීවිතේ හැමදාම තියෙන පසුතැවීමක් ඒක

මගේ ජීවිතේ හැමදාම තියෙන පසුතැවීමක් ඒක

පියුමාලි තිළිණිකා කියන්නේ මේ දිනවල පුංචි තිරයේ නිර්මාණවලින් වගේම දැන්වීම්වලින්ද හමුවන සුන්දර යුවතියක්. පොත්පත්වලට වැඩි කැමැත්තක් දක්වන පියුමිකා එක්ක මේ සංවාදය කරන්න හිතුණේ මේ උදාවී ඇත්තේද සාහිත්‍ය මාසය නිසයි.

පියුමාලි කොහොමද මේ කාලය..

ලෝකයම ගත්තම හැමෝම ඉන්නේ ඉතාම අසීරු කාලයකනේ. ඒත් මේ වසංගත කාලයට අපි හැමෝටම මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මමත් ඒ නිසා මේ පොදු අසීරුතා මැද්දේ පරිස්සමෙන් රැකියාව සහ කලාව කරගෙන යනවා.

රැකියාව ගැනත් මතක් කරමු..

මම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් විදියට රැකියාව කරන අතරේ තමා කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ.

පවුලේ විස්තර…

මගේ උපන් ගම කොත්මලේ. මට දැන් ඉන්නේ අප්පච්චි සහ අයියලා දෙන්නා. මගේ අම්මා නම් දැන් ජීවතුන් අතර නැහැ.

කොහොමද කලාවට එන්නේ..

ඒක ඇත්තටම අහම්බයක්. අනෝජ් කරලියැද්ද අයියා මට හඳුන්වල දෙනවා චාමර සමරවික්‍රම අයියව. එයාගේ නිෂ්පාදනයක් වන ‘දූවිලි අහස’ ටෙලි නිර්මාණයෙන් තමා මම මුලින්ම කලාවට එන්නේ. ඒ 2018 දී. එතැනින් පස්සෙත් මට ලැබෙන අරාධනා සහ විවේකය එක්ක මම නිර්මාණවලට දායක වෙනවා.

අහම්බෙන් හරි කලාවට එන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ…

මම හැමදෙයක් ගැනම ලොකුවට සතුටු වෙන කෙනෙක් නෙවෙයි. මම හෙමින් ගමනක් යන්නේ. ඒ ගැන සතුටුයි.

මේ වෙද්දී දායක වුණ නිර්මාණ මොනවද?

දූවිලි අහස, හදවතේ කතාව, සඳ හැංගිලා, කුමී, අග්නි පියාපත්, සිඳු, බ්ලැක් ටවුන් ස්ටෝරි, දෙවැනි ඉණිම, මායාවී සහ රේස් එන්න තියෙනවා.

සිනමාවට ආරාධනා නැද්ද?

එක ආරධනාවක් ලැබුණා. නමුත් සිනමා නිර්මාණයකට එක දිගටම කාලය වෙන් කරන්න මගේ රැකියාවත් එක්ක බැරි නිසා ඒ අවස්ථාව මගහැරුණා.

පූර්ණ කාලීනව කලාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

නැහැ. මගේ ජීවිතේ මුල් තැන දෙන්නේ රැකියාවට. කලාව නිසා රැකියාව අහිමි කර ගන්නේ නැහැ. ඒ නිසා ලැබෙන විවේකය එක්ක තමා නිර්මාණ භාර ගන්නේ.

ඔබ පෙම්වතියක්ද?

මට ප්‍රේම සබඳතා තිබිලා තියෙනවා. මම ආදරය කරලා තියෙනවා. ඒත් මේ කාලයේ මම පෙම්වතියක් නෙවෙයි. මම ඒ මාතෘකාව පොඩ්ඩක් අතහැරලා ඉන්නේ. මේ කාලයේ මම ආසයි ටිකක් තනියම ඉන්න. මට මේ ගෙවන ජීවිතේ නිදහස්.

ඇයි හුදකලාවට මේ තරම් ආදරේ…

තනියම ඉන්නකොට ප්‍රශ්න අඩුයි. අපිට අපි ගැන හිතන්න කාලය ඕනේ තරම් තියෙනවා. හුදකලාවට පුරුදු වුණාම ලොකු රසයක් තියෙනවා.

සමාජයෙන් එල්ල වන කටකතා දකින්නේ කොහොමද?

මම ගොසිප් දකින්නේ මාර්කටින් එකක් විදියට. ගොඩක් අය මාර්කට් එකක් හදාගන්න තමා ගොසිප් හැදෙන විදියේ දේවල් කරන්නේ. මට ඇත්තටම එහෙම මාර්කට් එකක් හදාගන්න වුවමනාවක් නැහැ.

විවේක කාලයක් ලැබුණාම ගත කරන්න කැමති කොහොමද?

මම කැමති තනියම ඉන්න. ඒ වෙලාවට මම කරන්නේ පොතක් කියවන එක. එහෙම නැත්නම් අන්තර්ජාලය තුළින් අලුත් දෙයක් ඉගෙන ගන්න එක.

වැඩියෙන්ම කියවන්න කැමති මොන වගේ පොත්ද?

මම සාමාන්‍යයෙන් කැමති ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු පොත් කියවන්න. ඒ එක්කම කවි පොත් කියවන්නත් කැමතියි.

පියුමාලිගේ ජීවිතේ පසුතැවෙන තැන් තියෙනවද?

මගේ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී තියෙන ලොකුම දුකක් දැනෙන එකම දේ තමා අම්මා නැති වෙන එක. එයා රැකියාව එක්ක කාර්යබහුල වෙලා හිටියා. ඊට පස්සේ මම රැකියාවට ආවා. අම්මා රැකියාවෙන් අස්වෙනවාත් එක්කම තමයි අම්මා නැති වුණේ. අම්මටයි, මටයි එකටම ගත කරන්නේ ලැබුණේ ඉතා අඩු කාලයක්. මට අම්මා වෙනුවෙන් දේවල් කරන්න හම්බුණේ නැහැ. මගේ රැකියාවෙ මුල් පඩිය ගන්නත් කලින් අම්මා නැති වුණේ. අදටත් මම සැලරි එක අතට ගන්නකොටම මට මතක් වෙන්නේ අම්මව. අම්මා වෙනුවෙන් මට එක රුපියලක්වත් වියදම් කරන්න බැරි වුණානේ කියන හැඟීම. මගේ ජීවිතේ හැමදාම තියෙන පසුතැවීමක් ඒක.

ජීවිතේ ගැන අද මොකද හිතෙන්නේ…

මට තියෙන්නේ හැලහැප්පීම් ප්‍රශ්න එක්ක ආපු ජීවිතයක්. ඒත් ඒ හැමදේකටම මුහුණ දීලා ඉස්සරහට යන්න ශක්තිය මට තිබුණා. ඒ නිසා මම ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා.

අනාගත බලාපොරොත්තු මොනවද?

රැකියාව තුළින් පුළුවන් දුරක් යන්න තමා මම උත්සහ කරන්නේ. ඒ අතර කාලය කළමනාකරණය කරගෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

අනූෂා රණසිංහ

More from GossipMore posts in Gossip »