දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවන ආබාධිත දියණියක් මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීමට සමත් වූවාය.
ගතින් වාරු නැතත් සිතේ ශක්තියෙන් හා නොපසුබට ආත්ම විශ්වාසයෙන් බොහෝ අභියෝග මැද මෙම විශිෂ්ඨ දක්ෂතාවය දක්වා ඇත්තේ රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ නමැති දියණියයි.
වයස අවුරුදු 16 ක් වුවද අවුරුදු පහක් තරම්වත් පෙනුමක් නොමැති මෙම දැරියගේ ඉගටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික වී තිබේ.
දෑත් ද සම්පූර්ණයෙන් ක්‍රියාශීලී නොමැති අතර ඇයට සාමාන්‍ය දරුවකු තරමට නොහැකි වුවත් සෙමෙන් අකුරු ලිවීමේ හැකියාවක් පවතී.
එහෙත් ඒ සදහා පොතපත මෙන්ම සියලු ලිපි ද්‍රව්‍ය ඇය ළඟටම සපයා දිය යුතු වෙයි.පෑනේ විල්ල පවා ගලවා ඇයගේ අතේ තැබිය යුතු අතර පොතේ පිටු පවා පෙරලා දීම වෙනත් කෙනකු විසින් සිදු කර දිය යුතුව ඇත.
ඇය පාසලට කැදවා ගෙන ඒම හා නැවත කැදවා ගෙන යාම මාපියන් විසින් සිදු කරන්නේ වඩා ගෙනය.
වසර 100 කට වැඩි ඉතිහාසයක් ඇති පාසලේ අ.පො.ස.සාමාන්‍ය පෙල හොදම ප්‍රතිඵලය ද මෙවර වාර්තා වීම විශේෂත්වයකි.
විභාගයට පෙනී සිටි දරු දැරියන් 21 දෙනා අතුරින් දෙව්මි සහ ඇගේ මිතුරියක් විෂයයන් සියල්ලටම ඒ සාමාර්ථ හිමි කර ගෙන තිබුණාය.
ඊට අමතරව දෙව්මිගේ ජයග්‍රහණය තවත් සුවිශේෂී වන්නේ ඇය කිසිදු උපකාරක පන්තියකට සහභාගී නොවී පාසලෙන් ඉගෙනුම ලැබු අධ්‍යාපනයෙන් හා පොත පත කියවීමෙන් ලැබු දැනුමෙන් මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබීමයි.






