ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු කණ්ඩායමේ ජයග්රාහි ගමන් මඟට බාධාවක් බවට චෝදනා එල්ල වී ඇති හෙයින්, මේ ගැටලුව සම්බන්ධයෙන් තේරීම් කමිටුව ඉදිරි පැය 24 තුළ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් හමු වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් දිනමිණට පැවසීය.
සැලකිය යුතු විනයක් ගොඩනැඟෙමින්, යොවුන් ක්‍රීඩකයන්ගේ ජව සම්පන්න ක්‍රීඩා විලාශය මැද ජයග්‍රහණ අතරට පිවිස සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ ක්‍රීඩකයන් දෙදෙනා තම දක්ෂතා මඟින් අවශ්‍ය උපරිම දායකත්වය නිසි පරිදි නොදුන් බවට එල්ල වී ඇති චෝදනාව වේ. මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ දුර්වල ක්‍රීඩා විලාශය හා අලස ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය වී ඇති හෙයින් ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මේ සාකච්ඡාව තේරීම් කමිටුව හා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් අතර පැවැත්වීමට නියමිතය.
මේ අතර අන්තර්ජාතික මට්ටමේ විශාල මුදලක් ගෙවන ප්‍රිමීයර් ලීග් විස්සයි20 තරගාවලියකට යෑමට අපේක්ෂාවෙන් සිටි ක්‍රීඩකයකු ආබාධයට ලක් නොවී වැඩි පරිස්සමෙන් ක්‍රීඩා කිරීමට යෑම හේතුවෙන් තවත් ගැටලුවක් නිර්මාණය වූ බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. වෙනදා එස්ට්‍රා කවර් හා කවර් පොයින්ට් යන ඉතා කාර්ය බහුල ස්ථානවල පන්දු රකින මේ ක්‍රීඩකයා මිඩ් ඕෆ් හා මිඩ් ඕන් යන ස්ථානවල හා හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකීමට අවස්ථාව ඉල්ලා සිටින හෙයින් ඔහුගේ උපරිමය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලබා ගැනීමේ අපහසුතා පැන නැඟී ඇතැයි ද වාර්තා වේ. ඉතා පැහැබර අනාගතයක් ඇති මේ ක්‍රීඩකයා පන්දු රැකීමේදී ආබාධයකට ලක් වුව හොත් ඉදිරියේ පැවැත්වෙන ප්‍රිමීයර් ලීග් තරගාවලිය අහිමි වේ යැයි බියෙන් පසු වීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි දැනගන්න ඇත.
මේ අතර ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක දසුන් ශානක දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් විස්සයි20 තරගයේදී පිතිකරුවන්ගෙන් නිසි සේවයක් නොලැබුණු බව මාධ්‍ය හමුවේ පැවැසීය. “අපේ පිතිකරුවන් බලාපොරොත්තු වූ සේවය දුන්නේ නෑ. පිතිකරුවන්ගේ සංයෝජනය අපේක්ෂා කළ පරිදි සාර්ථක වුණේ නෑ. මෙයට වඩා වගකීමෙන් ක්‍රීඩා කළ යුතුයි. ලෝක කුසලානයට තව ඇත්තේ සීමිත කාලයක්. ඒ නිසා අප ඉදිරියේදී වඩාත් කල්පනා කාරීව හා සැලසුම් සහගතව කටයුතු කළ යුතුයි” දසුන් ශානක පැවැසීය.
ශ්‍රී ලංකා නායකයා පැවසුවේ: “පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තණතීරුවල පන්දුවට පහර දීමට අපහසුවක් තිබුණේ නෑ; අපට නිදහසේ ලකුණු ගත හැකි වුණා. ඒත් ප්‍රේමදාස තණතිල්ලේ දඟකැවීම් වැඩි වුණා. නිමා වූ ශ්‍රී ලංකා විස්සයි20 ලීග් තරගාවලියේදී හොඳින් පන්දුවට පහර දුන්නත් මේ තණතීරු වෙනස් විදිහට හැසිරුණා.”
දකුණු අප්‍රිකාව සමඟ විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයකට ලක් වුව ද ලෝක කුසලාන සංචිතයේ කිසිදු වෙනසක් සිදු නොවන බවද ඔහු පැවසීය. ලබන මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයන්ට හොඳින් ක්‍රීඩා කිරීමට අඛණ්ඩ සහයෝගය දිය යුතු බව ඔහු අවධාරණය කළේය.
ප්‍රින්ස් ගුණසේකර