Press "Enter" to skip to content

මෙරට ඩෙල්ටා ප්‍රභේදය ගැන නවත ම පරීක්ෂණයකින් හෙළිවූ බරපතළ කරුණු

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95.8ක් (95.8%) ම ඩෙල්ටා ප්‍රභේදය අසාදනය වූවන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විවිධ පළාත්වල වාර්තා වුණු කොරෝනා ආසාදිතයින්ගේ පීසීආර් සාම්පල මගින් සිදු කළ විශේෂිත අධ්‍යයනයක් මගින් මේ බව අනාවරණය වී ඇති බවය.

මෙම පරීක්ෂණය සඳහා පීසීආර් සාම්පල 881ක නියැදි යොදාගෙන තිබේ.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, ඉන් පීසීආර් සාම්පල 618ක් වෛරස ප්‍රභේද විශ්ලේෂණය (Varriant Analysis PCR) සඳහා යොදා ගැනීමට හැකි වූ බවය.

මෙම සාම්පල සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට ඊයේ (සැප් 9) දිනයේදී නිකුත් කළ බව ඒ මහතා සඳහන් කළේය.

”මේ සාම්පලවලින් ඇල්ෆා ප්‍රභේදය උදාහරණයක් හැටියට උතුරු , දකුණු පළාතෙන් එක් රෝගියෙක්, සබරගමුව පළාතෙන් රෝගීන් හය දෙනෙකු, මධ්‍යම පළාතෙන් රෝගීන් දෙදෙනෙකු ආකාරයෙන් යම් යම් සීමා සහිත ප්‍රදේශවල ඇල්ෆා රෝගීන් ඉතා සුළු වශයෙන් වාර්තා වුණාට සෑම ප්‍රදේශයක ම 95% කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඩෙල්ටා රෝගීන්”

එම අධ්‍යයන වාර්තාවට අනුව, සබරගමුව පළාත තුළ ලබා ගත් සාම්පල 87කින් සාම්පල 81ක් ද, උතුරු මැද පළාතෙන් සාම්පල 60න් සාම්පල 59ක් ද, නැගෙනහිර පළාතෙන් ලබා ගත් සාම්පල් 100කින් සාම්පල 94ම ඩෙල්ටා විකෘති ප්‍රභේද අසාදනයවු රෝගීන් බව අනාවරණය වී ඇත.

එමෙන් ම උතුරු පළාතේ සාම්පල 123කින් සාම්පල 113ක්ද, දකුණු පළාතේ සාම්පල 64කින් සාම්පල 63ක්ද, මධ්‍යම පළාතේ ලබා ගත් සාම්පල 29කින් සාම්පල 27ක්ම ඩෙලටා වෛරසයේ ආසාදිතයන්ය.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, වයඹ පළාතෙන් 22 දෙනෙකු ද, කොළඹ ප්‍රදේශයේ සාම්පල 130 ක් ද ඩෙල්ටා ප්‍රභේදය ආසාදතියන් බවට තහවුරු වී ඇති බවය.

තව ද මධ්‍යම පළාතේ නුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි ද, බදුල්ල, පුත්තලම සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි නියැදි කිසිවක් අධ්‍යයනයට ලක් වී නැති බව වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

මේ වන විට එන්නත් සම්බන්ධයෙන් අධ්‍යයනය (Immunogenetics Studies) කරමින් පවතින බවත් දැනට තිබෙන වාර්තා අනුව මෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇති මෙම සියලු ම එන්නත් මගින් අවශ්‍ය නිසි ආරක්ෂාව ලැබෙන බව මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.

”තවමත් පර්යේෂණ වාර්තා තියෙන්නේ දරුණු රෝගී තත්ත්වයට වැඩිපුර ම යොමු වීම සිදු වෙන්නේ ඇල්ෆා ප්‍රභේදයත් එක්ක. ඩෙල්ටා ප්‍රභේදයේ යම් යම් වාර්තා තියෙනවා හැබැයි තව ම සියයට සියයක් ම මේක දරුණු රෝගවලට ඩෙල්ටා හැදුණොත් යනවා කියන මතය නැහැ. හැබැයි වැදගත් දේ තියෙන්නේ ඩෙල්ටාවල රෝගය පැතිරීම ඇල්ෆාවලට වඩා 50%කින් වේගවත්. එතකොට වැඩිපුර ප්‍රමාණයකට ආසාදනය වෙන කොට මෙම ආසාදනය වෙන කට්ටියගෙන් යම් කිසි ගැටලුකාරී තත්ත්වයන්ට ඇති වෙන්න පුළුවන් පුද්ගලයින්ට ආසාදනය වීමේ හැකියාව වැඩියි. වයස්ගත පුද්ගලයන්ට වෙනත් රෝගාබාධ තියෙන පුද්ගලයන්ට හැදුණොත් එවැනි පුද්ගලයින් ආසාදිත තත්ත්වයට පත් වෙනවා වි‍ශේෂයෙන් ම එන්නත් ලබා ගෙන හිටියේ නැත්නම්,” යනුවෙන් චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ඉදිරියේදී ප්‍රතිශක්තිකරණය හීන වීමට වැඩි හැකියාවක් සිහිත පුද්ගලයින්ගේ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ළමුන්ට එන්නත්කරණයේදී සිදු කළ යුතු ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යෙව්දියෙකු නැගු ප්‍රශ්නයකට ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

”දැනට ලෝකයේ ළමුන් එන්නත්කරණය සඳහා අනුමත එන්නත් වර්ග දෙකයි තියෙන්නේ. Pfizer සහ Moderna යන එන්නත් වර්ග දෙක. ඒ සම්බන්ධයෙන් දැනට ලෝකයේ යම් යම්රටවල් නිර්ණායක යොදාගෙන යනවා. දැනට ලංකාවේ තාම ළමුන් එන්නත්කරණය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලබා ගෙන නැහැ. අපි අපේ පුද්ගලික මතය ප්‍රකාශ කරල තියෙනවා ළමුන් එන්නත්කරණය කිරීම සඳහා. යුරෝපයෙනුත් මේ සම්බන්ධයෙන් විශේෂිත වූ කාණ්ඩ සඳහා පමණයි දැනට ළමුන්ට එන්නත්රණය සඳහා යම් රටවල් අනුමැතිය දීලා තිබෙන්නේ. සියලු ම ළමයින්ට ගහන්න නෙවෙයි.”

දැනට ලොව පුරා ඇති දත්ත අනුව, ප්‍රතිශක්තිකරණය හීන අයට තුන් වන මාත්‍රාවක් ලබා දීම සුදුසු වන අතර අනෙක් අයට ඉදිරියේදී ලැබෙන දත්ත පදනම් කර ගෙන තීරණ ගැනීම සුදුසු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.