T-20 ලෝක කුසලානය ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිතයි. සුදුසුකම් ලබා ගැනීමේ වටයකින් ඇරඹෙන තරඟාවලියේ, ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය ඔක්තෝබර් 18 වැනිදා නැම්බියාව සමඟින් පැවැත්වෙනවා. T-20 ලෝක කුසලානය සඳහා නම් කරනු ලැබූ ක්‍රීඩා සංචිත පිළිබඳව ක්‍රීඩා කරන අනෙකුත් රටවල් කිහිපයක්ම මේ වන විට ප්‍රකාශයට පත්කර අවසන්. ශ්‍රී ලංකාවේ T-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳව යම් කසුකුසුවක් පැමිණියත් තවම ස්ථිර නිගමනයකට පැමිණ නැහැ.
මේ අතර ලොව අග්‍රගණ්‍ය වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග T-20 ලෝක කුසලානයට තමන්ගේ සහභාගිත්වය පිළිබඳව අදහස් දක්වා තිබුණා.
තේරීම් කමිටුවෙන් ආරාධනාවක් ලැබුණොත් ලෝක කුසලානය සඳහා සහභාගී වෙනවාද?
“ආරාධනා කරන්න තරම් මම ලොකු පොරක් නෙමෙයි. දැන් රටේ තියෙන තත්ත්වය එක්ක ක්‍රීඩාවට යොමු කරගන්නේ තෝරාගත්තු පිරිසක්. ඒ අවශ්‍ය පිරිසට පී.සී.ආර් කරල බබල් කරල ඒ අයව පුහුණුවීම්වලට ගෙන්න ගන්නවා. ඊට අමතරව කිසිම ක්රීඩකයකුට ක්‍රීඩා කිරීමට, පුහුණුවීම් වලට යෙදෙන්න හැකියාවක් නෑ. මාලිංග පවසන පරිදි ඒ සියළු කාරණා වලට ඔහුට කැඳවීමක් නොලැබීමෙන් අදහස් වන්නේ ඔහුගේ සහාය ශ්‍රී ලංකා කණ්ඩායමට අනවශ්‍ය නිසා බව ඔහු පවසනවා.
කිසියම් සංචිතයට කැඳවා මාලිංගට ක්‍රිකට් ගහන්න තවම හැකියාව තියෙනවාද? නැතිද? ඒ සඳහා ශාරීරික යෝග්‍යතාව තිබෙනවාද? නැද්ද? යන්න ගැන බලලා මාලිංග සුදුසුද? නැද්ද? කියල තීරණය කිරීම වඩාත් ප්‍රායෝගික බව මාලිංග පවසනවා.
“තව මාස තුන හතරකින් කිව්වොත් ලසිත් මාලිංග ට්‍රේනින් කරල නෑ, අපිට එයාව සිලෙක්ට් කරන්න බෑ කියල, අන්න ඒ වෙලාවට එහෙම කියන මනුස්සයගෙ ඔලුවට පොල්ලෙන් ගහන එක තමයි සාධාරණ. මේ තියෙන තත්ත්වය මත ඕනෑම කෙනෙක් පුහුණුවීම් කරනවා නම් කුමක් හෝ සංචිතයකට තෝරාගත යුතු වෙනවා. එහෙම වුනොත් තමයි පුහුණුවීම් සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. මට ගෙදර ඉඳන් කිලෝමීටර් දෙකක් දුවන්න බෑ. ෆිට්නස් කරන්න බෑ. මම ගහපු ක්‍රිකට් එකේ නම් ගෙදර ඉඳන් ඕවා කරන්න බෑ”
යම් පුහුණු කඳවුරකට හෝ ඇකඩමියකට සහභාගී කරගෙන යෝග්‍යතාවය පිළිබඳව මැන බැලීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් ඒ සඳහා තමන් සහභාගී වන බව ලසිත් මාලිංග පවසනවා.
ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ, තරඟයක් ඕනෑම අවස්ථාවක දී ජයග්‍රහණ මාවතට යොමු කළ හැකි ක්‍රීඩකයෙක්. තවමත් මාලිංගගේ අඩුව පිරවීමට පන්දු යවන්නෙක් බිහි වී ඇත්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක්. මේ අවස්ථාවේදී T-20 ලෝක කුසලානය සඳහා මාලිංගගේ පරිණතභාවය සහ දැනුමෙන් ප්‍රයෝජනයක් ගැනීමට ලැබේවා! යන්න ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රාර්ථනයයි.
Source – am.lk