මෙරට දෛනික කොවිඩ් මරණ ගණන පළමුවරට 200 සීමාව පසුකරමින් අගෝස්තු 25 වනදා මරණ 209ක් තහවුරු වී ඇති බව රජය ඊයේ (26) නිවේදනය කළේය.
මෙම මරණ 209ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,000 සීමාව ඉක්මවායමින් 8,157 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් මරණ වාර්තාවීමේ මෙරට ඉතිහාසය දෙස අවධානය යොමු කළහොත් මේ අතරින් පළමු කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය දින 417ක් එනම් වසරකටත් වැඩි කාලයක් ඒ සඳහා ගතවී තිබුණි.
නමුත් දෙවන මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය දින 23කි.
තුන්වන මරණ දහස වාර්තා වීමට දින 19ක් ගතවූයේ කොවිඩ් තුන්වන රැල්ලේ බලපෑමත් සමගය.
හතරවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට තවත් දින 23ක් ගතවිය.
පස්වන මරණ 1,000 වාර්තාවීමට ගතවූයේ සති දෙකක් එනම් දින 14ක කාලයකි.
හයවන කොවිඩ් මරණ 1,000 වාර්තා වීමට දින 8ක් ගතවී ඇතිබව දත්ත විශ්ලේෂණයේදී පෙනී යයි.
හත්වන කොවිඩ් මරණ දහස වාර්තා වූයේ දින 6ක් තුළදීය.
කෙසේවෙතත් 8වන මරණ දහස වාර්තාවීමට ගතවී තිබෙන්නේ දින 5ක් වැනි ඉතා කෙටි කාලයක්වීම රෝගය පැතිරයාමේ දරුණුකම පෙන්නුම්කරයි.
විශේෂඥයින් පවසන්නේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට මරණ වේගවත්වීම කෙරෙහි බලපෑ ඇති අන්දම ඉන් පැහැදිලි බවය.
ඊයේ වනවිට වාර්තාවී තිබූ සමස්ත කොවිඩ් මරණ 8,157 අතරින් 6,183ක් එනම් 75.7%ක්ම තවදුරටත් වාර්තා වන්නේ වයස අවුරුදු 60 හා ඊට වැඩි පුද්ගලයින් කාණ්ඩයෙනි.
මරණවලින් 1,894 ක් එනම් 23.2%ක් අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් ලෙස දැක්වෙයි.
අවුරුදු 30ට අඩු පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් තිබෙන අතර එම ගණන 1.1% කි.
Published in Health