පාද 4ක් සහිත නව තල්මස් විශේෂයක් හඳුනාගැනීමට ඊජිප්තු විද්‍යාඥයන් සමත් වී තිබේ.
Phiomicetus anubis ලෙස නම් කර ඇති මෙම සත්ත්වයා පෘථිවියේ ජීවත්වී ඇත්තේ මීට වසර මිලියන 43කට පමණ පෙරාතුවය.
මෙම තල්මසාගේ ෆොසිල ඊජිප්තුවේ බටහිර කාන්තාරයෙන් සොයාගෙන තිබේ. එවකට මුහුදින් යටවී තිබුණු මෙම කාන්තාරය, ෆොසිල සෙවීමට තෝතැන්නක් ලෙස හැඳින්වේ.
මෙම සත්ත්වයා ගේ හිස්කබල, පුරාණ ඊජිප්තුවේ මළවුන්ගේ දෙවියා ලෙස සැලකෙන අනුබිස්ගේ හිසේ හැඩයට සමාන බැවින් Phiomicetus anubis ලෙස නම් තබා ඇත.
නූතන තල්මසුන්ගේ මුතුන්මිත්තන් වසර මිලියන 10 ක් පුරාවට ගොඩබිම වාසය කළ මුවන් වැනි ක්ෂීරපායින්ගෙන් වර්ධනය වූ බව විද්‍යාඥයන් පවසයි.
මීටර 3ක් දිගැති හා කිලෝග්‍රෑම් 600ක් පමණ බරැති මෙම සත්ත්වයා හට ගොදුරු අල්ලාගැනීමට ඉතා ශක්තිමක් හකු තිබූ බවත්, එම සත්ත්වයාට ගොඩබිම ඇවිදීමටත් ජලයේ පිහිනීමටත් හැකියාව පැවති බව මේ පිළිබඳ සිදුකළ අධ්‍යයනයක දැක්වේ.
කකුල් සහිත තල්මසෙකුගේ ෆොසිල හමුවූ පළමු අවස්ථාව මෙය නොවන නමුත්, අප්‍රිකාවෙන් සොයා ගත් පැරණිම අර්ධ ජලජ ජීවී තල්මසුන් විශේෂය Phiomicetus anubis යැයි විශ්වාස කෙරේ.
Phiomicetus anubis පිලිබඳව ඊජිප්තුවේ මන්සූරා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් සිදුකළ මෙම අධ්‍යයනයේ සොයාගැනීම් Proceedings of the Royal Society B ජර්නලයේ පළකර තිබේ.






