මිත්තනිය බාරයේ සිටි වයස අවුරුදු 15යි මාස 9ක් වයැසැති දැරියකට අතවර කළ ඇගේ 60 හැවිරිදි අනියම් සැමියා බව කියන අයකු ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර්.එස්.එම්. මහේන්ද්‍ර රාජා මහතා නියෝගකර තිබේ.
පසුගිය 25 වැනිදා මීට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදී මේ නියෝගය ලබාදී ඇත.
අදාළ නියෝගය ලබාදී ඇත්තේ වැලිවේරියේ පදිංචි හත්මුනිගේ ආනන්ද සිල්වා නැමැති සැකකරුවෙකුටය.
වැලිවේරිය පොලිසිය එහිදී අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙසේ අතවරයට පත් දැරියගේ මව ඇය දමා ගොස් ඇති බවත්, පියා බන්ධනාගාර ගතව සිටින බවයි.
අච්චාරු වෙළඳාමේ යෙදී සිටින ආච්චි අම්මා නිවෙසින් බැහැරව සිටින අවස්ථාවක අරක්කු රැගෙන නිවසට පැමිණ ඇති සැකකරු දැරියට අරක්කු පොවා ඉකුත් පෙබරවාරි මාසයේදී මෙසේ මුල්වරට අතවර කර ඇති බවත් පසුව ඇයට දිගටම වරින් වර අතවර කර ඇති බවයි.
දැරිය සිය විවාහක වැඩිමල් සොයුරියට මේ බව අනාවරණය කිරීමෙන් පසුව සිද්ධිය පොලිසියට දන්වා තිබේ.






