Press "Enter" to skip to content

කොරෝනාවෛරසය පෙනහලුවලට බලපාන අන්දම ගැන ‘පළමු වරට’ ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමක්

කොවිඩ් නියුමෝනියා තත්ත්වය ඇති වීමට පෙර කොවිඩ් රෝගියෙකුගේ පෙනහලුවල ඇති වන සංකූලතාවක් පිළිබඳව පළමු වරට මෙරටින් හඳුනාගෙන තිබේ.

කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයින්ගේ සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලින් මේ පිළිබඳව අනාවරණය කර ගත් බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන විශේෂ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, කොවිඩ් නියුමෝනියා තත්ත්වය ඇතිවීමට පෙර, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පෙනහලුවල ගර්ත බිත්තිවල නියුමොනයිටිස් (Pneumonitis) තත්ත්වය ඇති වන බවය.

ඒ හේතුවෙන් ගර්ත බිත්තියේ ඇති සෛල විනාශ වී, ඒවා ගර්ත තුළට කඩා වැටීමෙන් හයලින් මෙම්බ්‍රෙන් ෆොර්මේෂන් (hyaline membrane formation) තත්ත්වය ඇති වන බව හඳුනා ගත් බව වෛද්‍ය චන්න පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ඉන් අනතුරුව එය කොවිඩ් නියුමෝනියා තත්ත්වයකට පත්විය හැකි බවය.

මේ අතර, මේ වන විට කොවිඩ් වැළඳී මියගිය 100කට අධික පිරිසකගේ මෘත දේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා භාජනය කර ඇති බව වෛද්‍ය චන්න පෙරේරා මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, 30%ක පමණ පුද්ගලයින් පිරිසක් මියගොස් ඇත්තේ කොවිඩ් නියුමිනිය තත්ත්වය හේතුවෙන් නිසා බව ඉන් සොයා ගත් බවය.

එමෙන් ම, තවත් අඩු ප්‍රතිශතයක් ලේ කැටි ගැසීම් හේතුවෙන් ඒවා පෙනහලුවල හිරවී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද එම මරණ පරීක්ෂණ මගින් හඳුනා ගත් බව ඔහු පෙන්වා දුන්නේ ය.

“මේ වෙනකොට අපි 100කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ මරණ පරීක්ෂණ කොවිඩ් ආසාදිත වූ පුද්ගලයින්ගේ කරලා තියෙනවා. පෙනහලු සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ වෙන වෙනස්කම් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. මෙම පශ්චාත් මරණ පරීක්ෂණවලින් 30%ක් පමණ පුද්ගලයින් මිය ගොස් තිබෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා.

ඒ වගේ ම ඊටත් වඩා අඩු ප්‍රතිශතයක් මේ ලේ කැටි ගැසීම් නිසා ඒවා පෙනහලුවල හිරවී මිය යන්නට පුළුවන්. මේක අනාවරණය කරන කම් ලෝකයේ වෛද්‍ය සඟරාවල අනාවරණය කරලා තිබුණේ නැහැ.

ඉතින් අපි මේකේ දැක්ක දේ තමයි කොවිඩ් වෛරසයේ අසාදනය වීමෙන් පෙනහලුවල ගර්තවල බිත්තියේ මෙම වෛරසයේ සංකූලතාවක් ලෙස ඇති වෙන නියුමොනයිටිස් (Pneumonitis) කියන තත්ත්වය. ඒ කියන්නේ පෙනහලු ගර්තවල සෛල වර්ග දෙක විනාශයට පත් වෙනවා. මේ විනාශයට පත්වීම කරන කොට ගර්ත බිත්ති විනාශ වී මෙම සෛල ගර්ත ඇතුළට කඩාගෙන වැටීමේ ප්‍රතිඵලයක් ලෙස හයලින් මෙම්බ්‍රෙන් ෆොර්මේෂන් (hyaline membrane formation) කියන තත්ත්වයක් ඇති වෙනවා.

මෙම තත්ත්වය තමයි මේ කොවිඩ් වෛරසයේ පෙනහලු ආසාදනයේ මුල් අදියරේ ඇති වෙන තත්ත්වය. ඉන් පසු කොවිඩ් නියුමෝනියා කියන තත්ත්වයට මේක හැරෙන්න පුළුවන්.”