Press "Enter" to skip to content

ඇඳුම් මාරු කර කර එකම චරිතය කරන්න බෑ…

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වූ දිනිති වල්ගමගේ අද වනවිට ජනප‍්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම නිවේදිකාවක්. මේ දිනවල ඇය මොනවද කරන්නේ කියලා දැනගන්න අපි දිනිති වල්ගමගේට කතා කළා. මේ ඇගේ කතාවයි.



⋆ දිනිති ඇත්තටම මේ දවස්වල මොනවද කරන්නේ?



මේ දවස්වල මම අතිශය කාර්ය බහුලයි. ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු ගේ කුසුම් රස්තියාදුව කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදු කෙරෙනවා. ඒ වගේම චිත‍්‍රපට දෙකක රූගත කිරීම් ආරම්භ කිරීම නතර කරලා තියෙනවා කොරෝනා ප‍්‍රශ්නයත් එක්ක. තවත් ටෙලි නාට්‍ය දෙකක් විකාශනය වීමට නියමිතයි.


⋆ පසුගිය කාලේ වැඩිපුර දකින්න ලැබුණේ නැහැ. ඇයි ඒ?



හොඳ දේවල් එන්න කල්යනවා ඒකයි ඔහොම කියනවා ඇත්තේ.



⋆ එතකොට ගුවන් සේවිකාවකගේ භූමිකාවට මොකද වෙලා තියෙන්නෙ?



මම ගුවන් සේවයෙන් ඉවත්වෙලා නැහැ. මම ෆ්ලයි කරන නිසයි වැඩකටයුතුවලින් ගොඩක් ඈත් වෙලා හිටියේ. අපි ගුවන් ගමනක් ගියාට පස්සේ නිරෝධායනය වෙන්න වෙනවා. එතකොට ෂූටින් යන්න බැහැනේ. ඇත්තටම ඒ වගේ ගැටලූ ගොඩක් තිබුණ හින්ද තමයි මම නිර්මාණවලට දායක වුණේ නැත්තේ. ඒ වගේම මම භාරගත්තු නිර්මාණත් කොවිඞ් ප‍්‍රශ්න හින්ද නිතර කල්යනවා. ඒක හින්ද අලූත් වැඩක් භාරගන්න බයයි.

⋆ මේ දිනවල පැතිරයන ඩෙල්ටා ප‍්‍රභේදය හින්දා ගුවන් සේවිකාවක් විදියට ලොකු අර්බුදවලට මුහුණ දෙන්න වෙලා ඇති නේද?



අර්බුද නැහැ. අපි සාමාන්‍ය විදිහට වැඩ. මම නම් කියන්නේ මට කොහෙත්ම ෆ්ලයිට් එකකින් කොවිඞ් හැදෙන්න විදිහක් නැහැ. අපි කරන්න පුළුවන් උපරිම සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද පාවිච්චි කරනවා. ෆ්ලයිට් එකකින් නම් හැදෙන්නේ නැහැ.



⋆ ඔය කියන්න හදන්නේ රූගත කිරීමකදී වෛරසය හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලද?



ඔව් අපි රූගත කිරීමක් කරන්න මුහුණු ආවරණ ගලවන වානේ. අනික නළු නිළියෝ මුහුණු ආවරණ පළඳින්නේ නැහැනේ. ඒක තමයි තියෙන එකම ගැටලූව. මම හිතන්නේ නැහැ ලොකුවට ප‍්‍රශ්නයක් ඇතිවෙයි කියලා. අපි දැනගන්න ඕනෑ පරිස්සම් වෙන්න ඕනෑ කියලා. එතකොට මොනදේටත් හොඳයිනේ.

⋆ ළගදී කොහේද ෆ්ලයි කරපු රට?



මම ජපානයට ගියා.



⋆ දැන් ගුවන් සේවයේ වැඩකටයුතු සාමාන්‍ය විදියට කරගෙන යනවාද?



අපිට ගුවන් මගින් ගෙනියන්න පුළුවන් ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ ටික බලන්නේ අපේ ගුවන් සේවයෙන්. සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදවලට අපි රස්සාව කරගෙන යනවා.



⋆ නිරෝධායනය වෙලාද රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නේ.



දැන් අපිට නිරෝධායන කාලය දවස් හතක් නැහැ. අනික අපි වැක්සින් දෙකම අරගෙන ඉන්නේ. නිරෝධායන ප‍්‍රශ්නය ටිකක් අඩුයි. ඇත්තම කිව්වොත් මේ දවස්වල තමයි මගේ ෂූටින් පටන් ගන්නේ.


⋆ රගපෑමට ඒම ගැන මොකද හිතන්නේ?



මට ගොඩක් දේවල් හම්බ වුණා. දිනිති වල්ගමගේ කියලා කෙනෙක් දැනගත්තේ ර`ගපාන්න ආපු නිසයි. මම අසාවට ර`ගපාන්න ආවේ. අද මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. මිනිස්සු මම කරපු දේවල් ආදරෙන් වැළඳගත්තා. ඒ ආදරයට මම ආදරෙයි. අනික මම මේ ක්‍ෂේත‍්‍රයට ආසයි. කොහොමත් සල්ලි බලාගෙන ර`ගපාන්නේ නැහැ. ර`ගපෑවේ නැහැ කියලත් මට මූල්‍යමය අර්බුද නැහැ.



⋆ ර`ගපෑමේදී චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද?



මම ලොකුවට චරිත තෝරා බේරා ගැනීමක් කරනවා. මම ආසා නැහැ එකම චරිතය ඇඳුම් මාරු කර කර ර`ගපාන්න. අනික ඇඳුම් විතරක් වෙනස් වෙන චරිත කරලා වැඩක් නැහැනේ. මොකක් හරි වෙනසක් තියෙන්න එපයැ.



⋆ ද වොයිස් වේදිකාවෙන් ඈත්වීම දුකක්ද?



නැහැ. මට කිසිම දුකක් නැහැ. මට ඊට වඩා රස්සාව වටිනවානේ. මම කොහොමත් හම්බවුණ දෙයක් ගැන ලොකුවට සතුටුවෙන කෙනෙක්වත් නැති වුණ දෙයක් ගැන ලොකුවට දුක්වෙන කෙනෙක්වත් නෙමෙයි. සමහර වෙලාවට තමන් කැමැති දේවල් අත්හරින්න වෙනවා. තමන්ගේ ජීවිතය ගැන හිතලා. අනික මම ඒ ගැන දැනගෙන හිටියා. මගේ ගිවිසුමේ තිබුණේ බ්ලයින්ඞ් වලට විතරයි.



⋆ දිනිති පෙම්වතියක්ද?



අයියෝ නැහැ



⋆ හරියට ආදර යෝජනා එනවා කියන්නේ.



අයියෝ ඒක සාමාන්‍ය දෙයක්නේ. ඕනෑම ගැහැනු ළමයෙකුට ආදර යෝජනා එනවානේ.



⋆ දැන්ම විවාහයක් ගැන හිතනවාද?



නැහැ. මට තවත් කෙනෙකුගේ ජීවිතය අමාරුවේ දාන්න වුවමනා නැහැ. මම මේ ඉන්න විදිහ හොඳයි. මම මාර බිසී ලයිෆ් එකක් ගත කරන්නේ. මම මගේ බිසි ලයිෆ් එකේ මට නිදාගන්නවත් වෙලාවක් නැති වුණාහම තවත් මනුස්සයෙක් ගැන මට හිතන්න වෙලාවක් නැහැ. ඊට වඩා හොඳයි ඒක ටිකක් පැත්තකට දාලා ඉන්න එක. නැත්නම් තවත් මනුස්සයෙක් ගේ ජීවිතය පැත්තකට දාන එක අපරාධයක් නේ.

දිනේෂ් විතාන