බසයක් එනතුරු මගබලා සිටි වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් යතුරුපැදියේ නංවාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළැයි කියන කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ කණිෂ්ඨ සේවකයෙකු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තමාව යතුරුපැදියේ නංවාගෙන ගොස් ප‍්‍රධාන මාර්ගය මඟහැර අතුරු මාර්ග කිහිපයක් ඔස්සේ රැගෙන ගොස් කිහිපවරක් අපයෝජනයට උත්සාහ කළ බවත් ඉන්පසුව පාසල අසල අතුරු මාර්ගයේ ගසක් යටට බලහත්කාරයෙන් රැගෙන ගොස් බරපතළ ලෙස තමාව අපයෝජනයට ලක් කළ බවත් දැරිය විසින් මවට සඳහන්කර තිබේ.
ඉන් අනතුරුව මව හා දැරිය පැමිණ කුලියාපිටිය පොලිසියට පැමිණිළි කර තිබිණි.
වින්ධිත දැරිය පොලිසියට ගිය දිනයේම සිය ලොකුඅම්මාගේ සුවදුක් විමසීමට ගොස් යළිත් නිවසට පැමිණීමට බසයක් එනතුරු සිටියදී සැකකරු විසින් තමන් සේවයට යන බව පවසමින් යතුරුපැදියේ නංවාගෙන පැමිණ තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබිණි.
වින්ධිත දැරිය අදාල සැකකරු පුද්ගලිකව දන්නා හඳුනන නිසා එසේ යතුරුපැදියට ගොඩවූ බව දැරිය පොලිසියට පවසා තිබූ අතර වැවගම මාර්ගයේ බසයක් පැමිණෙන තෙක් තමන් පැය කිහිපයක් මාර්ගයේ රැඳීසිටි බවද පවසා තිබිණි.
පොලිසියට පැමිණිල්ල ලැබීමත් සමඟම වහා ක්‍රියාත්මක වූ පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතා සැකකරු ශික්‍ෂණ රෝහලේ සේවය කරමින් සිටියදීම රෝහල් බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබිණ.
දැරිය රෝහල්ගත කිරීමට පොලිසිය එහිදී කටයුතු කර තිබුණි.
අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් අදාළ පරීක්‍ෂණ මෙහෙයවයි.






