Press "Enter" to skip to content

ආහාර ද්‍රව්‍ය සඳහා පැන වූ බද්ද අලුත් බද්දක් නෙවෙයි ලු

ආහාර ද්‍රව්‍ය කිහිපයකට බදු පැනවීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය පිළිබඳව මුදල් අමාත්‍යංශය පැහැදිලි කිරීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ, අදාළ භාණ්ඩ සඳහා පසුගිය පෙබරවාරි මාසයේ 11 පනවා තිබුණු බද්ද මාස 6 කාලය ඉක්මවීම හේතුවෙන් නැවත එහි කාලය දීර්ඝ කිරීමක් අදාළ ගැසට් පත්‍රය මගින් සිදු කර ඇති බවය.

ඒ අනුව, 2021 පෙබරවාරි මාස 11 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයේ වලංගු කාලය දීර්ඝ කරමින් ‘කිසිදු බදු සංශෝධනයකින් තොරව’ අගෝස්තු 11 මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව එම අමාත්‍යංශය දැනුම් දී ඇත.

ඊට අමතරව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි, බටර්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට සහ ලුණු ආනයනය සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමට නිකුත් කරන ලද 2020 සැප්තැම්බර් මස 30 දිනැති ගැසට් නිවේදනයේ වසරක් වූ වලංගු කාලය 2021 සැප්තැම්බර් මස 30 දිනයෙන් අවසන්වීමට නියමිත බව ද මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඒ අනුව, එම ගැසට් නිවේදනය සහ දේශීය ලුණු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා සියලු ම භාවිත සඳහා ගන්නා ආනයනික ලුණු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 40ක බද්දක් පැනවීම සිදු කළ බව ද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.