Press "Enter" to skip to content

”රටේ තත්ත්වය බරපතළයි” – PHI සංගමයේ සභාපති අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යන අතර දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බවත් මෙම තත්ත්වය අනුව තවත් කිහිප දිනක් ඉදිරියට ගියහොත් රෝහල් පද්ධතියේ සහ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි.

ඔහු පවසන්නේ, රටේ දැන් පවතින තත්ත්වය පිළිබඳව රජයට හෝ මහ ජනතාවට වරදක් කිව නොහැකි බවත් දැනට පවතින තත්ත්වයට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු අතර එසේ නැතහොත් තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බවය.

”මේ වෙනකොට ලංකාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වඩාත් ඉහළ යමින් තියනවා දෛනිකව.ඒ වගේ ම මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තියනවා. මෙහි පවතින තත්ත්වය හමුවේ අපට බිම් මට්ටමේ පෙනෙන්නේ විශාල වශයෙන් කොවිඩ් 19 රෝගය ඉතා තදින් පැතිර යනවා ඒ නිසා දැනට පවතින තත්ත්වය අනුව තව දින කීපයක් ඉදිරියට ගියොත් රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉතාම ඉක්මනින් ඉක්ම යනවා.”

දැනට පවතින දැඩි සත්කාර ඒකක පහසුකම්, රෝහල්වල ඇඳන් ධාරිතාව මෙන් ම ඔක්සිජන් ධාරිතාව ද අවසන් වෙමින් පවතින බව රෝහල් බලධාරීන් පවසා ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.

“ඔක්සිජන් අවශ්‍යතාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා. රෝහල් තුළ ඔක්සිජන් සැපයීමේ යම් යම් බාධා සිදුවන නිසා ආනයනය කරන්න සිදුවනවා කියල අපි හිතනවා. ඒ නිසා මේ සියල්ලෙන් ම කියවෙන්නේ සෞඛ්‍ය පහසුකම් සම්බන්ඳව සීමිත බව.”

දැනට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල රෝහල්වල කොවිඩ් රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සේවා සැපයිය නොහැකි තරම් රෝගීන් වාර්තා වන බවත් උපුල් රෝහණ මහතා පැවසුවේය.

දැනට පවතින තත්ත්වය වෙනස් කරන්නට නම් දැඩි සංචරණ සිමා යොදමින් මෙම තත්ත්වය වෙනස් කළ යුතු බව ද සභාපතිවරයා කියා සිටියේය.

උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ, අත්‍යවශ්‍ය රාජකාරියක් නොමැති නම් තාමාගේත්, සමීපතමයන්ගේත් ආරක්ෂාව ගැන සිතා ආරක්ෂාකාරීව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කළ යුතු බවය.

“මේ තත්ත්වය පාලනය කර ගත්තේ නැත්නම් අපේ රට ඉතාමත් අවාසනාවන්ත තැනකට යනවා. මේ මොහොත වනකොටත් ගම්පහ දිස්ත්‍රික්කය කොළඹ සහ කළුතර වැනි දිස්ත්‍රික්කවල සේවා සැපයිය නොහැකි තරම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේ ම දෛනිකව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවල සහ පී.සී.ආර් පරීක්ෂණවල වාර්තා වීමේ ප්‍රතිඵලය ඉතා ඉහළ අගයක් අරන් තියනවා. පහු ගිය කිසිදු අවස්ථාවක මෙවැනි පැතිරීමක් හෝ මෙවැනි පී.සී.ආර් සහ අන්ටිජන් පරීක්ෂණවල පොසිටිව් වීමේ ප්‍රතිශතයක් පෙන්නුම් කරේ නැහැ .

ඒ නිසා දැනට පවතින රෝගීන් වැඩි වීමේ ප්‍රතිශතය මේ රේඛාව අපහු හරවගන්න නම් අපි දැඩි සංචරණ සීමාවලට යන්න ඕනේ.ඒ ගිහිල්ල තමයි නැවත වරක් අපසු හරවා ගත යුත්තේ එහෙම නොවුණහොත් අපගේ රෝහල් පද්ධතියට දරා ගත නොහැකි තරම් රෝගීන් ඉදිරියේදී වාර්තා වෙනවා.ඒ වගේ ම බිම් මට්ටමේ නිවාරණ සේවාවල නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනට දරා ගත නොහැකි තරමක් රෝගීන් නිවෙස් තුළ රැදිලා ඉන්නවා. ඒ වගේ ම අවාසනාවන්ත මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වෙයි, ඒ නිසා මේ මොහත අපි අතපසු කරන්න බැරි මොහොතක් ඒ නිසා අපි මේ මොහොතේ රට දැඩි සංචරණ සීමාවලට යා යුතුව තිබෙනවා.

අවසන් වශයෙන් අප මේ ගෙවන බැරෑරුම් මොහොත ඉතා හොදින් තේරුම් ගන්න. රජය හෝ බලධාරීන් හෝ නිලධාරීන් හෝ කිසිඳු පුද්ගලයෙක් ගන්න කුමන හෝ නීතියක් තිබුණත් මේ තීරණය වන්නේ ඔබගේ ජීවිතය, ඔබගේ අසල්වැසියන්ගේ, ඔබගේ සමීපතමයන්ගේ ජීවිතය පිළිබඳව තීරණය ගන්නේ ඒ නිසා තමන් ආරක්ෂා වෙන්න, සමීපතමයන් අරක්ෂා කර ගන්න. නිවසටම වී සිටින්න.”