අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී ගත් තීරණ දැනුම්දෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවනු ඇත.
ඒ අනුව සංචාරක, වරාය, ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර හිමිවේ.
මේ අතර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගත් බවට සහතිකයක් නොමැතිව පොදු ස්ථානවලට පිවිසීමට ලබන සැප්තැම්බර් 15 දිනෙන් පසු කිසිවෙකුටත් අවසර නොලැබෙන බවද ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම අවන්හල්, සාප්පු සංකීර්ණ, සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.






